නායක දසුන් ශානකගේ ප්‍රවේගකාරී ඉනිමත්, මිනෝද් භානුකගේ සහ නුවනිඳු ප්‍රනාන්දුගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් ‘රෙඩ්ස්’ පිල ලකුණු 42කින් පරදවා ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අපරාජිත ‘ග්‍රේස්’ කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් පිල මෙවර තරගාවලියේ ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ඕවර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 201ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් පිල අවසන් ඕවරයේ සිව්වැනි පන්දුවේදී ලකුණු 159කට දැවී ගියේය.
ග්‍රේස් ඉනිමේ පළමු කඩුලු 2කම ලකුණු 33කට දැවී ගිය අවස්ථාවේ නුවනිඳු ප්‍රනාන්දු සමඟ ඉනිම පිළිසකර කළ කඩුලු රකින ආරම්භක පිතිකරු මිනෝද් භානුක ග්‍රේස් පිලේ ලකුණු සංඛ්‍යාව 115 දක්වා ඉහළට ඔසවා තැබීමට සමත් වූයේ ලකුණු 74ක් රැස් කරමිනි. පන්දු 51කට මුහුණ දුන් මිනෝද් හතරේ පහර 12කින් සිය ඉනිම වර්ණවත් කළේය. ඔහුට අගනා සහායක් දුන් නුවනිඳු හතරේ පහර 5ක් සමඟ ලකුණු 47ක් රැස් කළේ පන්දු 36කිනි. මුළු ලකුණු සංඛ්‍යාව 115ක්ව තිබියදී පිටියට පිවිසි නායක දසුන් ශානක කලෙකට අමතක නොවන පිතිහරඹයක් දියත් කරමින් පන්දු 17කින් නොදැවී ලකුණු 48ක් රැස් කිරීම කැපී පෙනුණි. හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වූ දසුන් අර්ධ ශතක 2ක් සමඟ රැස් කළ සමස්ත ලකුණු සංඛ්‍යාව 258කි.
ලකුණු 201ක දැවැන්ත ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි රෙඩ්ස් පිලේ ප්‍රබලතම පිතිහරඹ තුරුම්පුව වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 10කට දැවී ගිය අතර, නායක චන්දිමාල්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 14ක් පමණි. අවිශ්ක ප්‍රනාන්දු දවාලීමට පුලින තරංග රැකගත් විශිෂ්ට උඩපන්දුව මෙවර තරගාවලියේ හොඳම උඩපන්දුව බවට පත් විය.
ඕෂද ප්‍රනාන්දු පන්දු 27කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 46ක් රැස් කළ ද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වූයේ නැත.
පන්දු යැවීම සහ පන්දු රැකීම අතින් ද කැපී පෙනෙන දස්කම් පෑ ග්‍රේස් පිලට කුසලානය සමඟ මුදලින් රුපියල් ලක්ෂ 20ක් හිමි වූ අතර, අනුශූරයන් වූ රෙඩ්ස් පිලට මුදලින් රුපියල් ලක්ෂ 15ක් හිමි විය.
ග්‍රේස් පිලේ නායක දසුන් ශානක තරගාවලියේ වීරයා සම්මානයත්, මිනෝද් භානුක තරගයේ වීරයා සම්මානයත් දිනා ගත්හ.
ග්‍රේස් පිල – 201/4 (ඕවර 20) මිනෝද් භානුක 74, දසුන් ශානක නොදැවී 48, නුවනිඳු ප්‍රනාන්දු 47 (අකිල ධනංජය 24/2)
රෙඩ්ස් පිල – 159 (ඕවර 19.4) ඕෂද ප්‍රනාන්දු 46, අකිල ධනංජය නොදැවී 25, අසේල ගුණරත්න 22 (නුවන් ප්‍රදීප් 17/2, පුලින තරංග 27/2, මතීෂ පතිරණ 28/2)
දසුන්ගේ තෑගි මුදල කළුබෝවිල රෝහලට
ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනූ ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක තරගාවලියේ වීරයා ලෙස ඔහුට ලැබුණු රුපියල් ලක්ෂ දෙකක මුදල කළුබෝවිල රෝහලේ ශ්වසනාධාරක යන්ත්‍රයක් සවි කිරීම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. මේ වන විට රටේ පවතින කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය අයහපත් මට්ටමක පැවතීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් ද ඒ සඳහා සිය දායකත්වය දීමේ වගකීම පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ද වන දසුන් ශානක කියා සිටියේ මේ තරගාවලියේ ශූරතාව දිනූ ග්‍රේස් කණ්ඩයාමට ලැබුණු මුදලින් කොටසක් ද ඒ සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවයි.