ශ්‍රී ලංකා තරග සංචාරය අරඹමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (26) අලුයම මෙරටට පැමිණියේය.
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා සීමිත ඕවර තරග ද්විත්වයකට ක්‍රීඩා කරන අතර, තරගාවලිය ලබන මස දෙවැනිදා ආරම්භ වීමට නියමිතය.
ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුතුව පැමිණි කණ්ඩායමේ එක්දින සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනකු ඇතුළත් වන අතර, විස්සයි20 සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් සංඛ්‍යාව 19කි.
ඔවුන් පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර නවාතැන් ගෙන සිටින හෝටලයේදී ස්වයං නිරෝධායනයට ලක් වීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ කඩුලු රකින මැද පෙළ පිතිකරුවකු වන ක්වින්ටන් ඩි කොක් මේ සංචාරයේදී එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, ඔහු විස්සයි20 සංචිතයට පමණක් එක්ව සිටී. එමෙන්ම ඩේවිඩ් මිලර් ද එක්දින සංචිතයෙන් ඉවත් කර විස්සයි20 සංචිතයට ඇතුළත් කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩි ද පෞද්ගලික හේතුවක් මත එක්දින තරගාවලියෙන් ඉවත්ව තිබේ.
මේ සංචාරයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක ජූනියර් ඩලාට සංචාරය අහිමි වී ඇති අතර, ඒ වෙනුවට ලූතෝ සිපම්ලා සංචිතයට එක් කර තිබේ.
ඩලාට මීට සති කිහිපයකට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර, ඔහු ඉන් සුවය ලබා සිටිය ද කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට පවතින රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් ඔහුට සංචාරය අහිමි විය.
දෙරට අතර, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ලබන මස 2 දා ආරම්භ වෙයි. එහි දෙවැනි එක්දින තරගය 4 දාත්, තෙවැනි සහ අවසන් තරගය 7 දාත් පැවැත්වේ. තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය සැප්තැම්බර් 10, 12 සහ 14 දිනවල පැවැත්වෙන අතර, ජෛව ආරක්ෂිත බුබුළක් යටතේ පැවැත්වෙන මේ තරගාවලි ද්විත්වයේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
නිරෝෂාන් ප්‍රියංකර