28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකාබුල් නුවර ලෙයින් තෙත් වෙයි සියයක් මරුට:

කාබුල් නුවර ලෙයින් තෙත් වෙයි සියයක් මරුට:

අමෙරිකා සෙබළු 13ක් ඒ අතර

දහස් සංඛ්‍යාත ඇෆ්ගන් ජාතිකයන් සිය රටින් පිට වීමේ දැඩි උත්සාහයක නිරතව සිටින අතරතුර පෙරේදා පස්වරුවේ සිට එක දිගට කාබුල් නුවර හමීඩ් කර්සායි අන්තර්ජාතික ගුවන්තොටුපොළ අසල සහ ඒ අවට සිදු වූ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් අමෙරිකා හමුදා සෙබළුන් 13ක් සහ එරට සිවිල් පුරවැසියන් ඇතුළු පුද්ගලයෝ 100කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් සිය ගණනක් තුවාල ලැබූහ. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් සහ කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සිටින බව වාර්තා වේ.

මේ අනපේක්ෂිත ප්‍රහාරය සිදු වූයේ අමෙරිකාව ඇතුළු රටවල් රැසක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි සිය පුරවැසියන් සහ ඇෆ්ගනිස්තාන ජාතිකයන් ගුවන් මගින් සිය රටවල්වලට පිටත් කරමින් සිටින අතරතුරදීය. එමෙන්ම කාබුල් ගුවන්තොටුපොලට අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක බුද්ධි අංශ අනතුරු අඟවා තිබූ මොහොතකදීය.

පෙරේදා පස්වරුවේ කාබුල් නුවර ගුවන් තොටුපොළට ඇතුළු වීමේ දොරටු තුනක් විවෘතව තිබූ අතර, පළමු බෝම්බය පුපුරා ගියේ අබේ නමින් හඳුන්වනු ලැබූ ගේට්ටුවක් අබියසය. ඒ මොහොතේදීම ගුවන්තොටුපොලට ඇතුළු වන සියලු ගේට්ටු වසා දැමීමට අමෙරිකානු හමුදාව ඇතුළු බලධාරීහු පියවර ගත්හ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම දොරටුව අසල දහස් ගණනක ඇෆ්ගන් ජනතාව ගුවන්තොටුපොළට ඇතුළු වීමට දැඩි උත්සාහයක නිරතව සිටි අතර, අමෙරිකානු හමුදා සෙබළුන් ඔවුන් පාලනය කිරීමේ කටයුතුවල නිරතව සිටියහ. බෝම්බය පිපිරී යෑමත් සමඟ ගුවන්තොටුපොළ වටා ඉදි කර තිබූ දිය අගල ලෙයින් පිරී ගියේය.

ඉන් මොහොතකට පසු දෙවැනි බෝම්බය පිපිරී ගියේ ගුවන් තොටුපොළ අසල බැරොන් හෝටලය ඉදිරිපිටදීය. ඉන් පසුව අවස්ථා කිහිපයකදී තවත් බෝම්බ ප්‍රහාර කිහිපයක්ම එල්ල වූ බව ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් කියවිණි. ඇතැම් වාර්තාවලට අනුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 5ක් එල්ල වී ඇත. එහෙත් විදෙස් මාධ්‍ය නිල වශයෙන් වාර්තා කළේ බෝම්බ ප්‍රහාර දෙකක් සිදු වූ බවය.

විදේශිකයන්ට සිය රටින් පිට වීමට තලෙයිබාන් සංවිධානය දී තිබූ අවසන් දිනය මේ මස 31 වැනිදා වන අතර, මේ ප්‍රහාරමාලාව හේතුවෙන් බොහෝ රටවල් කාබුල් නුවර ඉතිරිව සිටි සිය පුරවැසියන් අතහැර දමා ගුවන් මෙහෙයුම් අවසන් කිරීමට පියවර ගෙන තිබිණි.

බෙල්ජියම, නෙදර්ලන්තය, නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ පෝලන්තය පළමු ප්‍රහාරය එල්ලවීමෙන් පසු සිය ගුවන් මෙහෙයුම් අවලංගු කර දැමූ අතර, ඩෙන්මාර්කය ඊට පෙර දිනයේදීම ඔවුන්ගේ ගුවන් මෙහෙයුම අවසන් කර තිබිණි. ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන තම රටේ ගුවන් මෙහෙයුම් අවසන් කළ යුතු වූවද තවත් ඇෆ්ගන් ජාතිකයන් පිරිසක් රටින් පිට කිරීමේ අරමුණින් එම කටයුතු අඛණ්ඩව සිදු කරන බව ප්‍රංස ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් පළමු ප්‍රහාරයෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි අතර, තවදුරටත් මේ මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක කළ නොහැකි බව ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් ප්‍රකාශ කළාය. එහෙත් දැනට කාබුල් ගුවන්තොටුපොළේ රැඳී සිටින සිය හමුදා සෙබළුන් ඉවත් කරගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය තීරණය කර තිබිණි.

‘මිනිස්සු දන්නේ නෑ මොනවද වෙන්නේ කියලා. ගිලන් රථ නැහැ. රෝහල් අක්‍රීයයි. වෛද්‍යවරු සෑහෙන පිරිසක් ඒ වෙද්දිත් රටින් පිට වෙලා ඉවරයි. නැති නම් කොහේ හරි හැංගිලා. දැන් ඇෆ්ගනිස්තානය අරාජකයි. තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයන් හිතෙන හිතෙන දේවල් කරනවා. උදව් ඉල්ලලා එන දුරකතන ඇමැතුම්වලට ප්‍රතිචාර දක්වන්න රජයේ ආයතනවල කිසිම නිලධාරියෙක් නැහැ.’ ඊයේ එළි වන තුරුම ‘ට්විටර්’ වෙබ් අඩවිය පිරී ගියේ මෙවැනි තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ පටවලිනි.

බෝම්බ පිපිරී ගියත් මේ වන විටත් කාබුල් ගුවන්තොටුපොළ අසල ඇෆ්ගන් ජාතිකයන් රටින් පිට වීමට දැඩි උත්සාහයක නිරතව සිටින අතර, ගුවන්තොටුපොළ ඇතුළත රැඳී සිටින පිරිසට අමතරව කිසිවකු ඇතුළත් කර නොගැනීමට ආරක්ෂක හමුදා තීරණය කර තිබේ. ඊයේ දිනයේදිත් අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය සිය ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, ආරක්ෂක හේතු මත කිසිදු අවස්ථාවක අඩි 25,000කට වඩා අඩුවෙන් ඇෆ්ගන් අහසේ පියාසර නොකරන ලෙස ගුවන් නියමුවන්ට උපදෙස් දී ඇත.

බෝම්බ ප්‍රහාරමාලාවේ වගකීම අයිඑස් ත්‍රස්ත සංවිධානය බාරගෙන ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වන පෙන්ටගනය කියා සිටියේය. ඒ අතරතුර අයිඑස් සංවිධානයේ හමුදා අංශය වන අයිඑස්ඩබ්කේ. සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඔවුන් අමෙරිකා සෙබළුන්, ඔවුන්ගේ සේවකයන්, භාෂා පරිවර්තකයන්, ඔත්තු සපයන්නන් ඇතුළු පුද්ගලයන් 160කට අධික පිරිසකගේ ජීවිත උදුරා ගත් බවය. ආසියානු කලාපයේ ත්‍රස්ත මෙහෙයුම් සිදු කිරීමේ කටයුතු භාරව සිටින්නේ අයිඑස්ඩබ්කේ. සංවිධානය බව කියවේ. මිය ගිය පිරිස අතර තලෙයින්බාන් සංවිධානයේ සාමාජිකයන් ද සිටින බව ප්‍රකාශ කරන එම සංවිධානය මේ ප්‍රහාරය හෙළා දකින බව ඊයේ නිවේදනය කළේය. එය ත්‍රස්තවාදී සංවිධානයක් තවත් ත්‍රස්තවාදී සංවිධානයක ප්‍රහාරයක් හෙළා දුටු පළමු අවස්ථාව බව කියමින් සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ පිරිස් එම නිවේදනය ‘ට්විටර්’ වෙබ් අඩවියේ පතුරුගසා තිබිණි.

රටවල් රැසක් මේ ප්‍රහාරමාලාව හෙළා දකිමින් නිවේදන නිකුත් කර ඇති අතර, සිය හමුදා සෙබළුන් 13කට මරු කැඳවු ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන්ගෙන් පලි ගන්නා බවත්, තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඊට පෙර ඔහු ජීවිතක්ෂයට පත් සෙබළුන් වෙනුවෙන් මොහොතක නිහඬතාවක නිරත වෙමින් ගෞරවය පුද කළ බවත් වාර්තා වේ.

වසර 20ක් පුරා ඇෆ්ගනිස්තානයේ සිය හමුදා ක්‍රියාන්විත සිදු කරමින් ත්‍රස්තවාදීන් සමඟ ගැටුණු අමෙරිකාව ඒ සඳහා ඩොලර් ට්‍රිලියන ගණනක් වියදම් කළේය. එහෙත් අවසානයේ අත් කර ගත් ජයග්‍රහණයක් ද නැත. දැන් සිදු වී ඇත්තේ වසර 20කට පෙර තිබූ තත්ත්වයට ඇෆ්ගනිස්තානය යළි ඇදවැටීම පමණි.

ෆවුස් මොහොමඩ්