එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන සංචිතය නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි.
කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙක් ඇතුළත්ව සිටිති. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු වන රොස් ටේලර් සහ තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ඇතුළත් නොවීම කැපී පෙනෙන සිදු වීමක් වන අතර, තුන් ඉරියව් ක්‍රීඩක මාක් චැප්මන් මේ සංචිතයට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන 37 හැවිරිදි ටේලර් විස්සයි20 තරග 102කට ක්‍රීඩා කරමින් ලකුණු 1909ක් රැස් කර ඇත්තේ අර්ධ ශතක 7ක් සමඟිනි.
2014 වසරේ හොංකොං පිල නියෝජනය කරමින් ජගත් විස්සයි20 පිටියට පිවිසි 27 හැවිරිදි චැප්මන් 2018 පෙබරවාරි 13 දා නවසීලන්තය නියෝජනය කරමින් පළමු විස්සයි20 ජගත් තරගයට එක් විය. ඔහු දෙවරක් (2014 සහ 2016) විස්සයි20 ලෝක කුසලාන තරගාවලි නියෝජනය කර තිබේ.මේ සංචිතයට ප්‍රධාන වේග පන්දු යවන්නන් සිව් දෙනෙක්, දඟ පන්දු යවන්නන් තිදෙනෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙක් එක් කර ඇත. සංචිතයේ 16 වැනි ක්‍රීඩකයා ලෙස ඇඩම් මිල්නේ නම් කර ඇති අතර, ඔහු ආදේශ කරන්නේ ක්‍රීඩකයකු ආබාධයකට ලක් වුව හොත් පමණි.
ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව නවසීලන්ත පිල ඉන්දියාවේ තරග සංචාරයකට එක් වන අතර, එහිදී පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා මේ සංචිතයම එක් වනු ඇත.
මේ අතර, ලෝක කුසලාන තරගාවලියට පෙර නවසීලන්තය බංග්ලාදේශයේ සහ පාකිස්තානයේදී සීමිත ඕවර තරගාවලියකට එක් වීමට නියමිතය. එහෙත් ලෝක කුසලාන තරගාවලියට නම් කළ කිසිදු ක්‍රීඩකයකු මේ තරගාවලි සඳහා නම් නොකිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති අතර, එම තරගාවලි සඳහා වෙනම සංචිතයක් නම් කර තිබේ. එම කණ්ඩායමේ නායකත්වයට ටොම් ලේතම් පත් කර තිබේ.
මේ සංචාර ද්විත්වයේදී නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර පත් කර තිබේ.
ලෝක කුසලාන නවසීලන්ත සංචිතය – කේන් විලියම්සන් (නායක), ටොඩ් ඇස්ටල්, ට්‍රෙන්ට් බෝල්ට්, මාර්ක් චැප්මන්, ඩෙවෝන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, කයිල් ජේමිසන්, ඩැරිල් මිචෙල්, ජිමී නීෂම්, ග්ලේන් ෆිලිප්ස්, මිචෙල් සැන්ට්නර්, ටිම් සෙයිෆර්ට්, ඉෂ් සෝධි, ටිම් සවුති, ඇඩම් මිල්නේ (ආදේශක).
නිරෝෂාන් ප්‍රියංකර