31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආණ්ඩුවේ ගජ මිතුරන් සීනි හැංගූ නිසා මිල ඉහළ ගියා

ආණ්ඩුවේ ගජ මිතුරන් සීනි හැංගූ නිසා මිල ඉහළ ගියා

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

ආණ්ඩුවේ ගජ මිතුරන් විසින් සීනි හංගාගෙන වෙළෙඳපොළට නිකුත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සීනි මිල ඉහළ ගොස් ඇති බවත්, මේ අවස්ථාවේදී කළ යුත්තේ මාෆියාව සතුටු කරනවා වෙනුවට ආණ්ඩුව ජනතාවට සහන දීම බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී පැවැසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“සීනි සම්බන්ධයෙන් විශේෂයෙන්ම 2020 නොවැම්බර් මස 16 ගැසට් නිවේදනයක් නිකුත් කළා. තොග මිල රුපියල් 80ක් සහ උපරිම සිල්ලර මිල රුපියල් 85ක් නියම කළා. නමුත් මේ අතර සීනි ආනයනය කිරීමේ කිලෝවක බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කළා. මෙතැන රුපියල් කෝටි 1,500කට වැඩි බදු වංචාවක් සිදු වුණා. අපි ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළා. ඒ වන විට මෙට්‍රිටොන් 90,000ක් ගෙනත් තිබුණා. මැයි මාසය දක්වා මිල වැඩි වීමක් නොවන බව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කළා. ආනයනකරුවන් සමඟ වෙළෙඳ ඇමැතිවරයා විල්මා ආයතනය ඇතුළුව 12 දෙනකු සමඟ විතරක් ගිවිසුම් අත්සන් කළා. නමුත් ඒ වන විට 65 දෙනකු ආනයනය කිරීමේ යෙදී සිටියා. නමුත් මැයි මාසයෙන් පසු සීනි මිල වේගයෙන් වැඩිවී අද රුපියල් 240ක් ඉක්මවා තිබෙනවා. උපරිම මිල සීමාව අප්‍රේල් මාසයෙන් අවසන් වුණා. වෙළෙඳ ඇමැතිවරයා කීවේ සීනි හිඟයක් නැති නිසා ප්‍රශ්නය ඉවරයි කියලා. දැන් පාරිභෝගික කටයුතු ඇමැතිවරයා කියන්නේ රුපියල් 100කින් මිල වැඩි වුණත් කරන්න දෙයක් නෑ කියලා.

මේ රටේ ජනතාව වෙනුවෙන් සහන දෙන්න තිබියදී බදු වංචා කර කිහිප දෙනෙක් අතර ඒකාධිකාරයක් පිහිටුවන්න ආණ්ඩුව ඉඩ දීලා. සහල් වෙළෙඳපොළේ තිබෙන්නේ ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ ඒකාධිකාරයේ ප්‍රතිඵලයි. ගොවි ජනතාවත් පාරිභෝගිකයත් අසරණ කර තිබෙනවා. සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන රතු කැකුළු සහල් කිලෝ එකක් 115ක විතර ඉඳලා විවිධ වර්ගවල සහල් රුපියල් 200 දක්වා මිල වැඩි වෙලා.”

නදී මාණික්කගේ