31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසීනි මිල පාලනය කර ගන්න බැරි පාරිභෝගික සේවා අධිකාරියක් රටට අවශ්‍ය නෑ

සීනි මිල පාලනය කර ගන්න බැරි පාරිභෝගික සේවා අධිකාරියක් රටට අවශ්‍ය නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී විජේරත්න

සීනි මිල පාලනයක් කර ගන්න මේ රටේ පාරිභෝගික සේවා අධිකාරියට නොහැකි නම් එවැනි ආයතනයක් රටට අවශ්‍ය නොවන බවත්, ඔවුන් සියලු දෙනාම නඩත්තු ජනතාවගේ බදු මුදල්වලින් බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී විජේරත්න මහත්මිය පැවැසූවාය.

ඇය මේ බව පැවැසුවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29) පැවති මාධ්‍ය මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද කීවාය.

“අද වන විට කොවිඩ් මාරයාගේ වෙස් ගෙන ජනතාවට අත වනද්දී මේ ආණ්ඩුව ජනතාවගේ බෙල්ල මිරිකන්න හදනවා. ජනතාවට කිරි හොද්දක් කාලා ජීවත්වෙන්න බැරි තැනට රට පත් කරලා. 2019 සීනි කිලෝවක් රුපියල් 100යි. අද 220යි. ඊයේ දිනයේ ලග්ගල ප්‍රදේශයේ සීනි කිලෝවක් රුපියල් 240යි. රටේ එක එක තැන්වල එක එක ගණන්. ජනතාව හිඟා නොකා හිඟා කන තත්ත්වයට පත් කරලා. අල්ලට සීනි ටිකක් දාගෙන කහට කෝප්පයක් බොන තත්ත්වයත් නැති කරලා.

අපි අහන්නේ ආණ්ඩුවෙන් බදු අඩු වීමේ සහනය මේ රටේ පාරිභෝගිකයාට ලැබුණ ද කියලා. එය ලැබුණේ නෑ. එයින් පෝෂණය වුණේ තමන්ගේ ගජ මිතුරුන් සහ ඡන්දයට උදව් කළ යාලුවෝ. අපි අහනවා, පාරිභෝගික අධිකාරිය නිදිද කියලා. එම අධිකාරියේ පාලනය අද වන විට ගිලිහිලා. එක එක අයගේ හිතුමතේට බඩු මිල වැඩි කරනවා. එම නිසා අදාළ වගකිවයුතු අය ඉතාම ඉක්මනින් මේවාට උත්තර දිය යුතුයි. තමන්ට ඕන ඕන විදියට බඩු මිල මේ විදියට වැඩි කරන්න නම් මේ රටට පාලකයන් අවශ්‍ය වෙන්නේ නෑ.

මේ වන විට කෘෂි රසායනික ද්‍රව්‍ය නැතිකමෙන් වී ගොවියා අසරණ වෙලා. පොළොන්නරුව, අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික්කවලත්, දඹුල්ල ලග්ගල වගේ ප්‍රදේශවලත් අස්වැන්න කඩා වැටිලා. බඩඉරිඟු ගොවියා සේනා දළඹුවා නිසා අසරණ වෙලා. මොනරාගල දිස්ත්‍රික්කය පොහොර ඇමැතිවරයාගේ දිස්ත්‍රික්කය. එතුමා ඒ ජනතාවට දෙන උත්තරය මොකක්ද? හේන් වගාවෙන් ජීවත්වෙන වැඩි ජනතාවක් ඉන්නේ එතුමාගේ දිස්ත්‍රික්කයේ. වල් නාශක දිලීර නාශක නැතුව කොහොමද ඒ අය ගොවිතැන් කටයුතු කරගෙන යන්නේ.

ආණ්ඩුව උත්සාහ කරනවා ගුරුවරුන් හරහා කොවිඩ් පැතිරුණා කියන්න. මෙය සම්පූර්ණ බොරුවක්. කිසිම ගුරුවරයකුට කොවිඩ් ආසාදිතව මිය ගිහින් නෑ. ඇතැම් අය උත්සාහ කළා එය ගුරුවරුන් පිට දමන්න. නමුත් මේ වන විට මහනුවර දළදා පෙරහර හරහා රැල්ලක් ඇති වෙමින් තිබෙන බව ආරංචි වෙනවා. ඒ සඳහා කිසිම ක්‍රමවේදයක් තිබී නෑ. අඩුම තරමේ ඇන්ටිජන් පරීක්ෂණයක් හෝ සිදු කර රෝගීන් හඳුනාගෙන වෙන් කර තබන්න තිබුණා. එසේ කළේ නෑ.

සීනි මිල පාලනයක් කර ගන්න මේ රටේ පාරිභෝගික සේවා අධිකාරියට බැරි නම් එය මේ රටට අවශ්‍ය වන්නේ නෑ. ඔය සියලු දෙනාම නඩත්තු වෙන්නේ ජනතාවගේ බදු මුදලින්. පාරිභෝගික සේවා සභාපති මේ දවස්වල හොරා පොලිස් කරනවා. එය වී අල්ලන්න. ඒ ගමන් සීනිත් අල්ලනවා කියලා තිබෙනවා. අපි ඉල්ලන්නේ ජනතාවට සහනයක් ලැබෙන විදියට මේවා ක්‍රියාත්මක කරන්න කියලා.”

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්