31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙල්ලයේ එල්ලයෙන් පදක්කමක් දිනන්න ක්‍රීඩකයෝ 3ක් අද ටෝකියෝ තරග බිමට

හෙල්ලයේ එල්ලයෙන් පදක්කමක් දිනන්න ක්‍රීඩකයෝ 3ක් අද ටෝකියෝ තරග බිමට

ඔරු පැදීමේ පැරාලිම්පික් අපේක්ෂාවට තිත

ටෝකියෝ ක්‍රීඩා උලෙළේ පිරිමි ඔරු පැදීමේ ඒකල අවසන් තරගයට ඊයේ එක්වූ මහේෂ් ජයකොඩි අවසන් ස්ථානයට පැමිණීම හේතුවෙන් ඔහුගේ තරග අවස්ථා නිමාවට පත් විය. රටවල් 12ක ක්‍රීඩකයන් එක් වූ මේ තරගයේ අවසන් තරගය කොටස් කාණ්ඩ දෙකකින් සමන්විත වූ අතර මහේෂ් ජයකොඩි අයත් වූයේ ‘බී’ කාණ්ඩයේ අවසන් තරගයටය. ටෝකියෝ මුහුදු ආරක්ෂික ජල මාර්ගයේදී පැවැති අතර, කිලෝමීටර් 2ක දුර නිමා කිරීමට ඔහු මිනිත්තු 13:12.33ක කාලයක් ගත කළ අතර, ඔහු එම කාණ්ඩයේ 6 වැනියා බවට පත් විය.

සමස්ත තරගයේ ඉදිරියෙන් සිට රන් පදක්කම දිනා ගත් යුක්රේනයේ රෝමාන් පොලියැන්ස්කි මිනිත්තු 9:48.78කින් තරගය නිම කළේය. මෙහි රිදී පදක්කම මිනිත්තු 10:00.82කින් ඔස්ට්‍රේලියාවේ එරික් හෝරී හා ලෝකඩ පදක්කම මින්ත්තු 10:03.54කින් බ්‍රසීලයේ රේනේ පෙරෙයිරා දිනා ගත්හ. කෙසේ වුව ද පැරාලිම්පික් ක්‍රීඩා උලෙළකට ඔරු පැදීමේ ක්‍රීඩාවෙන් එක් වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස මහේෂ් ජයකොඩි ඉතිහාසයට එක් විය.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ අද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකු තරග බිමට පිවිසෙන අතර එම තිදෙනාම ඔලිම්පික් ක්‍රීඩා සංකීර්ණයේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක් වෙති. පසුගිය 2016 රියෝ පැරාලිම්පික් උලෙළේදී ලෝකඩ පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහභාගි වන පිරිමි හෙල්ල විසි කිරීමේ F46 කාණ්ඩයේ අවසන් තරගය ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 9.30 සිට ප.ව. 12.45 දක්වා ක්‍රියාත්මක වන අතර, සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි සහභාගි වන හෙල්ල විසි කිරීමේ F64 කාණ්ඩයේ අවසන් තරගය පස්වරු 7ට පැවැත්වේ.

මේ ක්‍රීඩකයෝ තිදෙනාම ජාතික හෙල්ල විසි කිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාගේ උපදෙස් පරිදි තරගයට පිවිසෙති. පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා ජපානයේ ඔලිම්පික් ගම්මානයේ සිට ‘දිනමිණ’ සමග දුරකතනය ඔස්සේ එක් වෙමින් පැවැසූවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් අද තරගයේදී පදක්කමක් දිනා ගැනීමේ හොද විශ්වාසයකින් පසුවන බවයි. “දිනේෂ් හොද පුහුණුවකින් අනතුරුව අද තරගයට එක් වෙනවා. ඔහු මේ ක්‍රීඩා උලෙළේ අනිවාර්යයෙන් පදක්කමක් දිනා ගන්නවා. ඒ වගේම අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා ද පෙරළියක් කරනු ඇති බව විශ්වාසයි. කොහොම වුණත් අද දිනය ශ්‍රී ලංකාව පදක්කම් සටහනට එක් වන දවසක් වේවි” නිශාන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සෙබළකු වූ දිනේෂ් ප්‍රියන්තගේ පාදයකට වෙඩි වැදීමෙන් ලත් තුවාල හේතුවෙන් ඔහු F46 කාණ්ඩයේ (දණ හිසෙන් පහළ පාදය අප්‍රාණික හෝ අහිමි) වර්ගීකරණය යටතේ අද තරගයට එක් වේ.

34 හැවිරිදි ඔහු ඩුබායිහිදී පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත්තේය. එහිදී ඔහු මීටර් 60.59ක් හෙල්ල විසි කර දක්ෂතා දැක්වීය. එම තරගයේදී රන් පදක්කම දිනා ගත් ඉන්දියාවේ සුන්දර් ගුර්ජාර් හා ලෝකඩ පදක්කම දිනා ගත් ඉන්දියාවේ අජේ සිංග් ද අද දිනයේ තරගයට එක්ව සිටිති. වසර 2016දී බ්‍රසීල පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ මීටර් 58.23ක දක්ෂතාවකිනි.

ප්‍රින්ස් ගුණසේකර