28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිනේෂ්ගේ හෙල්ලෙන් කුරුල්ලෝ දෙන්නෙක්

දිනේෂ්ගේ හෙල්ලෙන් කුරුල්ලෝ දෙන්නෙක්

“රන් පදක්කම ලක්මාතාවට ආඩම්බරයක් වගේම මගේ බිරියට විශාල ගෞරවයක්”
ටෝකියෝ පිටියේ ශ්‍රී ලංකා වීරයා දිනේෂ් ප්‍රියන්ත කියයි

“මගේ ප්‍රධාන සිහිනය සැබෑ වූ නිසා මම ඉතාමත් සතුටු වෙනවා. මගේ හදවතේ ඇති හැඟීම විස්තර කරන්න මට වචන නෑ…” හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඊයේ ටෝකියෝ නුවරදී ලෝක වාර්තාවක් ද සමඟ රන් පදක්කමක් දිනා පැරාලිම්පික් වංශකථාව වර්ණවත් කළ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැවසීය.

‘එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්!’ යන පැරණි කියමන යාවත්කාලීන වෙමින් ‘දිනේෂ්ගේ හෙල්ලෙන් කුරුල්ලෝ දෙන්නෙක්’ යන කියමන නිර්මාණය වී තිබේ. ඒ දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසි කර රන් පදක්කම හා ලෝක වාර්තාව යන විශිෂ්ට ගෞරව නාම දෙකම ලක්මාතාවගේ නාමය ඉදිරියේ සටහන් කිරීම හේතුවෙනි.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති හෙල්ල විසි කිරීමේ තරගයේදී දිනේෂ් ප්‍රියන්ත තම පළමු උත්සාහයේදී මීටර් 62.58ක් දුර හෙල්ල විසි කරමින් රන් පදක්කමට ළං වූ අතර, තෙවැනි උත්සාහයේදී මීටර් 67.79ක් විසි කර පැරාලිම්පික් F46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව පිහිටුවීය.

මෙහි පැරණි ලෝක වාර්තාව ඉන්දීය ක්‍රීඩක දේවින්ද්‍රා මීටර් 63.97කින් 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී පිහිටුවා තිබුණ ද ඊයේ මීටර් 64.35ක් විසි කර රිදී පදක්කමෙන් සෑහීමට පත් වීමට ඔහුට සිදු විය. මෙහි ලෝකඩ පදක්කම මීටර් 64.01කින් ඉන්දියාවේම සන්දාර් සිංග්ට හිමි විය.

පසුගිය 2016 රියෝ පැරාලිම්පික් උලෙළේදී දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝකඩ පදක්කම දිනා ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන දුන් අතර, මෙවර ඔහු පිහිටුවූ ලෝක වාර්තාව F46 කාණ්ඩයේ වැලමිටෙන් පහළ අතක් අප්‍රාණික හෝ අහිමි යන ක්‍රීඩක වර්ගීකරණයට අයත් වේ.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උසස් දක්ෂතා සංචිතයේ පුහුණුවීම් වැඩ පිළිවෙළ මෙහිදී දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ ඇගයීමට ලක් විය.

“උසස් දක්ෂතා සංචිතයේ පුහුණුවීම් වැඩපිළිවෙළ යටතේ ක්‍රීඩා අමාත්‍යාංශය ටෝකියෝ ගමනට එන්න කලින් අපට හොඳ ධෛර්යයක් දුන්නා. ක්‍රීඩා ඇමැතිතුමා යම් ක්‍රමවේදයක් අනුව වැඩ කරන කෙනෙක්. ටෝකියෝ එන විට ක්‍රීඩකය කුට අමෙරිකානු ඩොලර් 15,000ක් (ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 30කට වැඩි) දුන්නා. වියදමට දිනකට ඩොලර් 40 බැගින් දුන්නා. ඒ සල්ලිවලින් අපේ ප්‍රශ්න යම් දුරකට විසඳා ගෙන අපේ කණ්ඩායම ටෝකියෝ ආවේ නිදහස් මනසකින් යුතුවයි. ක්‍රීඩකයකුගේ ජයග්‍රහණයට මානසික නිදහස අවශ්‍යයි.

“මගේ ජයග්‍රහණය අත් පා අහිමි වූ ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩකයන් සඳහා හොඳම ආදර්ශයයි. මට දරුවන් තුන්දෙනකු ඉන්නවා. බාලම දරුවාගේ වයස මාස අටයි. මගේ බිරිය ඔවුන් හොඳින් බලා ගන්නවා. ඒ වගේම ඇය මා දිරිමත් කරනවා. ඇය හැම දෙයක්ම මා වෙනුවෙන් කරනවා. ඇය මට ක්‍රීඩාව කිරීමට ඇති තරම් නිදහස දුන්නා. මේ රන් පදක්කම රටේ ජනතාවට ආඩම්බරයක් වගේම ඇයට විශාල ගෞරවයක් ගෙන දෙන්නක්” දිනේෂ් පැවසීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී වසර 2008 කිලිනොච්චි මානුෂික මෙහෙයුමේදී සතුරාගේ මෝටාර් ප්‍රහාරයක් වම් අතට වැදී සිදු වූ ආබාධයට වසර 4ක් ප්‍රතිකාර ලබා අනතුරුව එය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කර ගැනීමට දිනේෂ් සමත් විය.

“මා පාසල් සිසුවකුව සිටියදීත් හමුදාවේදීත් කිසිම ක්‍රීඩාවක් කළේ නැහැ. යුද්ධයේදී තුවාල වෙලා වසර හතරකට වැඩි කාලයක් රෝහලේ හිටියා. යුද්ධයේදී මගේ අතට වෙඩි ප්‍රහාර තුනක් එල්ල වුණා. මගේ ළඟම සිටි මිතුරන් බොහෝ දෙනකු එදා තුවාල ලැබුවා. රෝහලේදී එකිනෙකා අනාගතය ගැන කතා කළා. තුවාල හොඳ වෙලා මා විනෝදයට වගෙයි ක්‍රීඩාව පටන් ගත්තේ…” දිනේෂ් සඳහන් කළේය.

ඒ අනුව ඔහු මලල ක්‍රීඩා කිරීමට 2012 වසරේදී ගත් තීරණය නිෂ්ඵල නොවීය. අද ඔහු අන්තර්ජාතික කෙළි බිමේ සැබෑ ශූරයකු වී හමාරය.

ප්‍රින්ස් ගුණසේකර