30 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපැරා ක්‍රීඩකයන්ට ක්‍රීඩා සැලැස්මෙන් වැය කළ මුදලට සාධාරණයක් කළා

පැරා ක්‍රීඩකයන්ට ක්‍රීඩා සැලැස්මෙන් වැය කළ මුදලට සාධාරණයක් කළා

හෙල්ල විසි කිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඊයේ ලෝක වාර්තාවක් ද සමඟ රන් පදක්කමක් දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම දිනා ගත් සමිත දුලාන් හෙට්ටිආරච්චි යන ක්‍රීඩකයන් දෙදෙනාගේම පුහුණුකරු වූයේ ජාතික හෙල්ල විසි කිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා වීම විශේෂත්වයකි. එබැවින් හිටපු ජාතික හෙල්ල විසි කිරීමේ ශූරයකු ද වූ ටෝකියෝ නුවර සිටින ප්‍රදීප් නිශාන්ත මහතා සමඟ මේ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ ‘දිනමිණ’ සංවාදයක යෙදුණි.

“මුලින්ම මා මේ ටික කියන්න ඕනෑ. කරුණාකර මේක මේ විදිහටම ලියන්න. මට කිසිම පක්ෂයක් පාටක් භේදයක් නෑ. ඒත් මේ ජයග්‍රහණය පසුපස ක්‍රීඩා ඇමැතිතුමාගේ ක්‍රීඩා සංවර්ධන සැලැස්ම කිබෙන බව කියන්න ඕනෑ. මෙතෙක් ක්‍රීඩා අමාත්‍යාංශය මුදල් දුන්නේ ක්‍රීඩා සම්මේලනවලට. දැන් ක්‍රීඩා අමාත්‍යාංශය සල්ලි දෙන්නේ කෙළින්ම ක්‍රීඩකයන්ට යන විදිහට. ඒකයි මේ ක්‍රීඩා සංවර්ධන සැලැස්මේ වෙනස. සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙළින්ම රුපියල් ලක්ෂ 30ට වැඩි මුදලක් දුන්නා. අනෙක් ක්‍රීඩකයන්ට ලක්ෂ 20කට වැඩිය දුන්නා. පුහුණුකරුවන් වන අපට රුපියල් ලක්ෂ 10කට වැඩියෙන් දුන්නා. පුහුණු වන කාල සීමාවේ හැම කෙනකුටම ලක්ෂය බැගින් දුන්නා. ඒ මුදල්වලින් විටමින්, හොඳ කෑමබීම, සපත්තු වගේ දේවල් ළමයින් ගත්තා. ටෝකියෝවල ඉන්න හැම දවසකටම ඩොලර් 40 ගානේ වියදමට දුන්නා. එච්චරත් කරලා අපට පදක්කමක් ගේන්න බැරි වුණා නම් මූණ බලන්න බෑ. ඒ නිසා ක්‍රීඩා ඇමැතිතුමාගේ ඉහළ කාර්යසාධන පුහුණු වැඩසටහනට මා ස්තුතිවන්ත වනවා. මේ වගේ වැඩ පිළිවෙළක් මගේ ඉතිහාසයේ මා දැක නෑ. ක්‍රීඩකයන්ගෙන් ඒකට සාධාරණයක් ඉටු වුණා” පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා පැවසීය.

“ටෝකියෝ යන කොටම අප දන්නවා දිනේෂ් පදක්කමක් දිනන බව. මොකද: පුහුණුවීම් කාලයේ ඔහු මීටර් 55ක් 60ක් විතර හෙල්ල විසි කළා. හරිම නිදහසේ ඔහු තමන්ගේ කාර්යය කළා. ඒ වගේම අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා ද පෙරළියක් කරයි කියා මා විශ්වාස කළා. සමිත දුලාන් ඒ බලාපොරොත්තුව ඉටු කළා. ජයග්‍රහණය ගැන සතුටුයි. මේක ජීවිතයේ ඉහළම සතුටක්. ක්‍රීඩකයන්ගේ පුහුණුව හොඳින් සිදු වුණා. මනෝ විශේෂඥයකු මඟින් ඉතා කෙටි වැඩසටහනක් කරලා මානසික තත්ත්වය හැදුවා.”

“ශ්‍රී ලංකාවේ සිටින අත්-පා අහිමි යම් ආබාධයක් තිබෙන, ඒත් හිතේ හයිය ඇති අයට මා කියන්නේ සැඟවී සිටින්න එපා, ඉදිරියට එන්න. ක්‍රීඩා පිටියේ හයිය අපි දෙන්නම්. මේ තරගය මෙයට සති කිහිපයකට කලින් තිබුණු ඔලිම්පික් ක්‍රීඩාංගණයේ ඒ හා සමාන පහසුකම් මැද පැවතුණේ. සාමාන්‍ය අයට තිබෙන පිළිගැනීම මැද තරග පැවැත්වුණේ. ඔබටත් මේ වගේ පිළිගැනීමක් ගන්න පුළුවන්…” පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා ආරාධනාවක් කළේය.

ප්‍රින්ස් ගුණසේකර