ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට දෙවැනි පදක්කම හිමි කර දෙමින් සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසි කිරීමේ F42කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගනියි. ඊයේ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගයේදී සමිත දුලාන් මීටර් 65. 61ක දක්ෂතාවක් දකවමින් තම පෞද්ගලික ජීවිතයේ හොඳම දක්ෂතාව සටහන් කිරීමට සමත් වූවේය. මෙහි රන් පදක්කම ලෝක වාර්තාවක් ද සමඟ ඉන්දියාවේ එස්. සුමිට් මීටර් 68. 55කින් හා රිදී පදක්කම ඔස්ට්‍රේලියාවේ මයිකල් බ්‍රයන් මීටර් 66.29කින් දිනා ගත්හ.
ශ්‍රී ලංකා හමුදා පොලිසියට අනුයුක්තව සේවය කළ 30 හැවිරිදි කෝප්රල් සමිත දුලාන් 2017 වසරේදී රිය අනතුරකට ලක් විය. එහිදී ඔහුගේ දකුණු පාදයේ ආබාධයක් ඇති වූ අතර, එයින් අධෛර්යවත් නොවී පැරා ක්‍රීඩාව ආරම්භ කළේය. 2019 ඩුබායිහි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔහු හෙල්ල විසි කිරීමෙන් සිව් වැනි ස්ථානයට පත් වූ අතර, ඒ දක්ෂතා හේතුවෙන් ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ දොරටු විවර විය.
මෑතකදී පැවති ජාතික තරගාවලියකදී හෙල්ල විසි කිරීම මීටර් 61කටත් වඩා සිදු කරමින් දක්ෂතා පෙන්වූ හෙයින් ඔහු නිසැකයෙන්ම පදක්කම් අපේක්ෂාවක් වනු ඇතැයි පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා අනාවැකි පළ කළ තිබූ අතර, එය සනාථ කිරීමට සමිත සමත් වූවේය.
දෙණියාය මධ්‍ය මහා විදුහලෙන් හා මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලයේදී දුලාන් හෙල්ල විසි කිරීමෙන් සමස්ත ලංකා පාසල් තරගාවලි නියෝජනය කොට දස්කම් දක්වා තිබිණි. මේ තරගයේදී සම්පත් හෙට්ටිආරච්චි මිටර් 49. 94ක දුරක් හෙල්ල විසි කර 9 වැනි ස්ථානයට පත් විය.
ප්‍රින්ස් ගුණසේකර