සෞභාග්‍යයේ දැක්මට වෙට්ටු දාන්න හදන්න එපා!
රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු
ජනතාවට සහන සැලසීමේ අරමුණින් ආණ්ඩුව දෙන රේගු බදු සහන අයථා ලාභ ඉපැයීමට කිසියම් ව්‍යාපාරිකයකු යොදා ගන්නේ නම් රජය එයට කිසි විටකත් ඉඩ නොතබන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසූවේ ඊයේ (1දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බත්තරමුල්ල නෙළුම් මාවත ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.
අතවශ්‍ය සේවා සඳහා ජනාධිපතිවරයා නිකුත් කර තිබෙන විශේෂ ගැසට් නිවේදනය මිල පාලනයට රාජ්‍ය නායකයකු කළ බරපතළ මැදිහත් වීමක්. මෙයින් රජය බලාපොරොත්තු වන්නේ, සීනි මිල පාලනය කිරීමයි. දේශීය වශයෙන් සීනි පරිභෝජනය විශාල අවශ්‍යතාවක් තිබෙනවා. රුපියල් පනහේ බද්ද සත විසිපහ දක්වා අඩු කර ජනතාවට සහන දීමට ආණ්ඩුව බලාපොරොත්තු වුණා. ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සීනි ගබඩා කර හිඟයක් ඇති කර කෘත්‍රීමව මිල වැඩි කර තිබෙනවා. මේක තේරුම් ගත්තු නිසා තමයි සීනි, සහල් වගේ දේවල් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස නම් කර ඒවා හංගා ගෙන අමතර වාසි ගැනීමේ උත්සාහයට වැට බැන්දේ. වැටලීම් කිරීමට අතවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු නම් කර තිබෙනවා.
මේ සියලුම සීනි ආනයනය කරන ඒවා. සෞභාග්‍යයේ වැඩසටහනත් එක්ක ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව වුණේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න. විශේෂයෙන් සීනි සහ ඒ ආශ්‍රිත කර්මාන්ත වැවිලි කර්මාන්ත යටතේ නිෂ්පාදනය වැඩි කිරීමට වෙනම රාජ්‍ය අමාත්‍යංශයක් ඇති කළා. අවශ්‍ය හැමදේම දීලා සෞභාග්‍යයේ වැඩසටහන යටතේ සීනි මෙරට තුළම නිෂ්පාදනය කිරීම ඇරඹුවා.
අප දන්නවා පසුගිය කාලයේ දයා ගමගේ වගේ අයට ඔය සීනි සමාගම් පෞදගලිකව දීලා තිබුණේ. හදපු සීනි එකක් නැහැ, හැදුවේ වෙනත් දේවල්. සිනී නිෂ්පාදනයට අවශ්‍ය දේවල් වැඩි කරන්න උක් වගාව වැඩි කරන්න ගත්තු සාධනීය පියවරවල් කිසිවක් දැක්කේ නැහැ.
හැබැයි ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසු මේ සමස්ත වගාවන් දියුණු කරන්න, අපනයන කෘෂිකර්මාන්තය, අපනයන වැවිලි කර්මාන්තය, දේශීය උක් කර්මාන්තය දියුණු කරන්න විශාලා වැඩ පිළිවෙළක් ජනාධිපතිවරයා යෝජනාවට කළා.
1970 – 77 රජයේ මුදල් ඇමැති ආචාර්ය එන්.එම්. පෙරේරා සමඟ බණ්ඩාරනායක මැතිනිය මේ වැඩපිළිවෙළ ගෙනාවට පස්සේ දේශීය ආර්ථිකය නැංවීමට ක්‍රියා කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි.
නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය තුළ දේශීය නිෂ්පාදනය නැංවීමට පියවර ගෙන තිබෙනවා. කහ පසුගිය කාලෙ විශාල වශයෙන් ආනයනය කරපු ද්‍රව්‍යයක්. ජනාධිපතිවරයා එය සම්පූර්ණයෙන් ගෙන්වන එක නැවැත්තුවා.
දේශීය පොල් තෙල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් මිලියන 2.4ක් වෙනවා. මේ තෙල් පිට රටින් ගෙන්වන්නේ නැතිව ඒවායේ තිබුණු ප්‍රශ්න විසඳා, කර්මාන්තය නඟා සිටුවන්න කටයුතු කළා. දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍ය පියවර ජනාධිපතිවරයා ගෙන තිබෙනවා. මෑත කාලයේ එහෙම වැඩ කරපු නායකයෙක් නැහැ.
අද වෙන කොට ඩොලර් මිලියන 380ක් පොල් ආශ්‍රිත කර්මාන්තවලින් අප රටට ආදායම් උපදවා තිබෙනවා. මේ අවුරුද්දේ අපේ ඉලක්කය ඩොලර් බිලියනයක්.
අපේ සීනි අවශ්‍යතාව සම්පූර්ණ කරන්න තරම් දේශීය සීනි නිෂ්පාදනයේ තවම ප්‍රමාණය මදි. ජනාධිපතිවරයා ඒ වැඩපිළිවෙල කරන ගමන් තමයි එක පැත්තකින් ආනයනය සඳහා සයන දීමට කටයුතු කළේ. එහි අරමුණ ජනතාවට සහන දීමයි.
තමන්ට රජයෙන් දෙන සහනය, රේගු බදු සහනය පාවිච්චිකරලා ඒ තුළින් විශාල ලාභයක් ඒ තුළින් වංචනිකව උපයා ගන්නට කටයුතු කරනවානම් ඒක ඉතාමත් වැරැදි දෙයක්, එහෙම දෙයකට රජය කවදාවත් ඉඩ තියන්නේ නැහැ. කවුරු හරි ගැසට් නිවේදනයට සම්බන්ධ දේවල් හොරෙන් තියාගෙන ඉන්නවා නම් ඒවා වැටලීම් කර එළියට දාන්න ජනාධිපතිවරයා අවශ්‍ය කරන පියවර ගෙන තිබෙනවා. මේකත් විපක්ෂයේ අය වැරැදි විදියට දකිනවා යැයි පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත