28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකා කබඩි ක්‍රීඩකයා ලක්ෂ 27කට අලෙවි වෙයි

ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩකයා ලක්ෂ 27කට අලෙවි වෙයි

ඉන්දියාවේ මුම්බායිහි පැවති ‘ප්‍රෝ කබඩි ලීග්’ වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ අන්වර් සහීඩ් බාබා ඉන්දීය රුපියල් මිලියනයකට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 27.4කට) තමිල්නාඩුවේ ‘තමිල් තලෙයිවාස්’ කබඩි කණ්ඩායම විසින් මිල දී ගනියි.

ලෝක කබඩි ක්‍රීඩාවේ විශාලතම වෘත්තීය ලීග් තරගාවලිය වන මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයකු අලෙවි වී ඇත්තේ ඉතිහාසයේ පළමුවරට වීම විශේෂත්වයකි. මෙයට පෙර මේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතළොස්සක් සහභාගි වී තිබුණ ද මේ ආකාරයේ මිල දී ගැනීමක් සිදුව නැත.

කබඩි ක්‍රීඩාව බොහෝ දුරට සමාන වන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන චග්ගුඩු ක්‍රීඩාවට වන අතර, වර්තමානයේ පිළිගත් නීති-රීති සම්ප්‍රදායක් සමඟ අන්තර්ජාතික මට්ටමේ දියුණු තරග රටාවක් බවට එය පරිවර්තනය වී ඇත.

ඉන්දියාවේ මුම්බායි ප්‍රෝ කබඩි ලීග් වෙන්දේසියේදී විදෙස් ක්‍රීඩකයන් 22ක් අලෙවි වී ඇති අතර, බංග්ලාදේශය, ඉරානය, ජපානය, කෙන්යාව, කොරියාව හා ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රීඩකයෝ එයට ඇතුළත් වූහ. මෙවර වෙන්දේසියේ මිල අධිකම ක්‍රීඩකයා වූයේ ප්‍රදීප් නවාල් වූ අතර, වාර්තාගත මිල දී ගැනීම වූයේ ඉන්දීය රු. කෝටි 1.56ක් (ශ්‍රී ලංකා රු. කෝටි 4.27) වැනි මුදලකි.

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බාබා, ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කබඩි කණ්ඩායම් නියෝජනය කරමින් සිටී.

ඉන්දියාවේ ප්‍රෝ කබඩි ලීග් වෙන්දේසියට ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩක අස්ලාම් සාජා සහ ළහිරු කුරුප්පු මෙන්ම ආසිරි සඳරුවන් ද ශ්‍රී ලංකා කබඩි සම්මේලනය මඟින් වෙන්දේසියට යොමු කර තිබුණ ද ඔවුන් අලෙවි වූයේ නැත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ අන්වර් සහීඩ් බාබා වෙන්දේසියේදී අලෙවි වීම ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩාවේ නැඟී එන ක්‍රීඩකයන්ට හොඳ ආදර්ශයක් බවයි. “අපේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් තිදෙනා අලෙවි වුණේ නෑ. මේ වගේ වෘත්තීය ලීග් තරගාවලිවල ක්‍රීඩකයන් වෙන්දේසි වන්නේ කණ්ඩායමේ අවශ්‍යතාව මතයි. ක්‍රීඩකයකුගේ වාසනාව රැඳී තිබෙන්නේ මේ ආකාරයටයි. සම්මේලනයක් ලෙස අප කළේ හොඳම අය නම් කිරීම පමණයි” පතිරණ මහතා පැවසීය.

කණ්ඩායම් 12කින් සමන්විත ඉන්දීය ප්‍රෝ කබඩි ලීග් තරගාවලිය දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතය.

ප්‍රින්ස් ගුණසේකර