ප්‍රවීණ හා යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දිවා-රාත්‍රී පළමු එක්දින තරගය අද (2) ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ. තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ සහ විස්සයි20 තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේ ආර්. ප්‍රේමදාස පිටියේදීමය. දෙපිල අතර අදින් ඇරඹෙන එක්දින තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2023 ලෝක කුසලාන සුපිරි ලීගයට ඇතුළත් වන බැවින් දෙපිලම ජයග්‍රහණය වෙනුවෙන් දැඩි සටනක නිරත වනු ඇත.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද පසුගිය කාලය පුරා විශිෂ්ට දස්කම් පෑ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට ප්‍රවීණ ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා ඇතුළත් වන අතර, දස්කම් සපිරි පන්දු යවන්නන් වන වනිඳු හසරංග, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ අකිල ධනංජය ද ඇතුළත් වෙති. මීට අමතරව මෑත කාලයේ කැපී පෙනෙන දස්කම් පෑ අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, මිනෝද් භානුක සහ ප්‍රවීන් අබේවික්‍රම ද සිටිති.
ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් සිය දස්කම් අතර සිටින බැවින් මේ තරගාවලිය ශ්‍රී ලංකාවට වැඩි වාසිදායක බවක් පෙනේ. අනිත් අතට යොවුන් ක්‍රීඩකයන් රැසක්ම ඇතුළත් වන දකුණු අප්‍රිකා කණ්ඩායම ද අඩු තක්සේරුවට ලක් කළ නොහැකි අතර, ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් අද තරග බිමට පිවිසෙන්නේ මෑත කාලයේ කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩකයන් රැසක් ද සමඟිනි.
දෙපිල අතර මේ දක්වා එක්දින තරග 77ක් පවත්වා ඇති අතර, ඉන් තරග 31ක් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වෙද්දී දකුණු අප්‍රිකා පිල තරග 44ක ජය හිමි කර ගෙන තිබේ. එක් තරගයක් ලකුණු සම වීමෙන් නිමාවට පත් වී ඇති අතර, තවත් තරගයක් අවසන් වූයේ විසඳුමකින් තොරවය.
ෆවුස් මොහොමඩ්