27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාඝ්‍රයෝ කිවියන් පරදවති

ව්‍යාඝ්‍රයෝ කිවියන් පරදවති

නවසීලන්තයට එරෙහිව ඉතිහාසයේ පළමු විස්සයි20 ක්‍රිකට් ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වෙයි. මීර්පූර්හිදී පැවැති තරගයෙන් සංචාරක නවසීලන්ත පිල කඩුලු 7කින් පරාජය කළ බංග්ලාදේශය තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට නවසීලන්ත නායක ටොම් ලේතම් තීරණය කළද ඊට සාර්ථකව අභියෝගය කළ බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉනිම ඕවර 16.5කදී ප්‍රතිවාදී පිල ලකුණු 60කට සීමා කළහ.

එය නවසීලන්තය විස්සයි20 ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ද විය. මීට පෙර නවසීලන්තය 2014 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල හමුවේ ලකුණු 60කට දැවී ගොස් තිබිණි.

මේ තරගයේදී නායක ලේතම් සහ හෙන්රි නිකල්ස් ලකුණු 18 බැගින් රැස් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 5 සීමාව ඉක්මවීමට අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී මුස්ටෆිසූර් රෙහෙමාන් කඩුලු 3ක් බිඳ දැමූ අතර, නසුම් අහ්මද්, මොහොමඩ් සයිෆුඩීන් සහ ශකීබ් අල් හසන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ලකුණු 61ක ඉලක්කය ඕවර 15කදී පසු කළ බංග්ලාදේශ කණ්ඩායමට අහිමි වූයේ කඩුලු 3ක් පමණි. ශකීබ් අල් හසන් ලකුණු 25ක් සහ මුෂ්ෆිකූර් රහීම් නොදැවී ලකුණු 16ක් ඉනිමට එක් කළහ. ඕවර 4කදී ලකුණු 10කට කඩුලු 2ක් බිඳ දමමින් සහ ලකුණු 25ක් රැස් කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

කෙසේ වෙතත් මේ තරගාවලියට නිත්‍ය නායක කේන් විලියම්සන් ප්‍රමුඛ ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයන් 15ක් එක් නොවන්නේ ඔවුන් ලබන මස පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් සංචිතගත කර ඇති බැවිනි.

මේ අතර, මීට පෙර පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉතිහාසයේ පළමු විස්සයි20 ජය වාර්තා කළ බංග්ලාදේශ කණ්ඩායම තරග 5කින් සමන්විත එම තරගාවලිය ජය ගත්තේ 4-1ක් වශයෙනි.

නවසීලන්ත – බංග්ලාදේශ් දෙවැනි විස්සයි20 තරගය අද (3) පැවැත්වේ.