28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරනින් බැබළවූ දිනේෂ්ට - ලෝකඩ දිනූ සමිතට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කෝටි 7ක මුදල්...

රනින් බැබළවූ දිනේෂ්ට – ලෝකඩ දිනූ සමිතට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කෝටි 7ක මුදල් තෑගි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ලෝක වාර්තාවට වෙනම සල්ලි: පුහුණුකරුගේ තෑග්ග කෝටි 1.4ක්

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා මාතාව රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට කෝටි 5ක් හා ලෝකඩ පදක්කම හිමි කර ගත් සමිත දුලාන් කොඩිතුවක්කුට කෝටි 2ක් පිරිනැමීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා සවස පැවැති ජාතික ක්‍රීඩා සභා රැස්වීමේදී තීරණය කරයි. එමෙන්ම එම ක්‍රීඩකයන් දෙදෙනාගේ පුහුණුකරු වූ ජාතික හෙල්ල විසි කිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාට ක්‍රීඩකයන්ට හිමි වන මුදල මෙන් සියයට 20ක් (රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක්) පිරිනැමීමට ද එම සභාව තීරණය කළේය.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් මේ 7 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, එහිදී කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේදී රතුපලස මතින් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇත. අනතුරුව කොරෝනා නීති රීති අනුව ගුවන්තොටුපොළේදීම පීසීආර් පරීක්ෂණයකට ලක් කර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් තරු පහේ හෝටලයක නවාතැන් ගැනීමට අවස්ථාව සලසා දේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් වෙනම දිනකදී රාජ්‍ය මට්ටමේ විශේෂ උත්සවයක් පැවැත්වීමටත්, එම උත්සවයේදී මුදල් තෑගි පිරිනැමීමටත් තීරණය වී තිබේ. දිනේෂ් ප්‍රියන්ත හේරත්ට පිරිනමන කෝටි 5ට අමතරව ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාවට වෙනම මුදලක් ලබා දෙන අතර, එම මුදල රජයෙන් ද නොඑසේ නම් අනුග්‍රාහකයකුගෙන් ද යන්න ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය. එම ලෝක වාර්තාවට ද විශාල මුදලක් පිරිනැමීමට ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශය වී ඇත.

ජයග්‍රාහි ක්‍රීඩකයන් දෙදෙනාට හා පුහුණුකරුට පිරිනැමූ තෑගි මුදල ඔලිම්පික් හා පැරාලිම්පික් වැනි අන්තර්ජාතික ජයග්‍රහණවලදී මුදල් තෑගි පිරිනමන නිසි ක්‍රමවේදය අනුව සිදු කිරීමට ජාතික ක්‍රීඩා සභාව පියවර ගෙන තිබිණි.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ F46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් ද සමඟ දිනේෂ් ප්‍රියන්ත හේරත් රන් පදක්කමක් දිනා ගත්තේ මීටර් 67.79ක දක්ෂතාවක් දක්වමිනි. ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත ක්‍රීඩා උලෙළකදී හිමි වූ ප්‍රථම රන් පදක්කම මෙන්ම මුල්ම ලෝක වාර්තාව ලෙස ද එය සටහන් විය. පැරා මලල ක්‍රීඩකයකුට තම ජීවිතයේ දිනා ගත හැකි උපරිම ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයකි.