ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරගාවලියේ තරග දෙකක් අවසන් වී ඇත. පළමු තරගය නිමා වූ පසුදින එනම් 3 දා ශ්‍රී ලංකාවේ අතිදක්ෂ වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග දෙවැනි තරගයේදී සිදු වීමට ඉඩ ඇති අවදානමක් පිළිබඳ අනාවැකි පළ කරමින් යූටියුබ් ඔස්සේ දර්ශන කිහිපයක් නිකුත් කළේය. මාලිංග පැවැසූ දේ ඒ හා සමාන සිදුවීම් පසුදා (4) පැවති දෙවැනි එක්දින තරගයේදී දක්නට ලැබීම විශේෂත්වය වේ.
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් පළමුවැනි එක්දින තරගයේදී අලුත් පන්දුවෙන් අවශ්‍ය ප්‍රයෝජනය නොගත් හෙයින් දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් පරිස්සම් විය යුතු බව තරගයට පෙර මාලිංගගේ අනාවැකිය විය. දෙවැනි එක්දින තරගයේදී ඔවුන් ඒ දුර්වලතාව මඟ හරවා ගෙන අවිශ්ක ප්‍රනාන්දු හා භානුක රාජපක්ෂ දවා ගන්නා උපක්‍රමයක් පිළිබඳ කල් ඇතිව මාලිංග හෙළි කළේය. මාලිංග පැවසුවේ පළමු තරගයේදී දකුණු අප්‍රිකානුවන් කළ වරද නිවැරැදි කර ගන්නා බැවින් ශ්‍රී ලංකා පිතිකරුවන් පරිස්සම් විය යුතු බවය.
“අලුත් පන්දුව ලැබෙන්නේ ඕවර් 4ක් 5ක් පමණයි. දකුණු අප්‍රිකානුවන් පළමු ඕවර් 7 තුළදී පිතිකරුගේ දණ හිසට ඉහළින් හා ඉණ ප්‍රදේශයට පන්දු යැව්වේ. අලුත් පන්දුවෙන් දෝලනය කොට ගත යුතු වාසිය ගත්තේ නෑ. දෙවැනි තරගයේදී ඉදිරි පාදයට එන විදිහට පන්දුව යවයි. පළමු තරගයේදී අවිශ්ක ගහපු ලකුණු ගොඩක් එක්ට්‍රා කවර් ඉඳලා ඇතුළතටත්, මිඩ්විකට් පැත්තටත් ගහලා ගත්තේ. ඒකෙන් තේරෙන්නේ ඉදිරි පාදයේ ක්‍රීඩා කරලා නෑ කියන එකයි. හෙට තරගයේදී දකුණු අප්‍රිකානුවෝ අවිශ්කත්, භානුකවත් ඉදිරි පාදයේ ක්‍රීඩා කරන්න ගෙන්වයි. එහෙම වුණොත් පළමු ඕවර් 6දී මේ දෙන්නා පරිස්සම් විය යුතුයි. මොකද: ඉදිරි පාදයට ගත්තාම ස්ලිප් එක පැත්තට උඩ පන්දුවක් ගන්න ඔවුන් උපක්‍රමයක් දායි. එහෙම කළ හැකි පන්දු යවන්නන් දෙදෙනෙක් දකුණු අප්‍රිකාව සතුයි” මාලිංග පැවසීය.
දෙවැනි තරගයේදී අවිශ්ක හා භානුක පස්වැනි ඕවරය වන විට දැවී ගිය අතර දෙදෙනාම කඩුල්ල පසුපසට උඩපන්දු දී ක්‍රීඩාගාරයට පිය මැන්නහ.
ප්‍රින්ස් ගුණසේකර