එංගලන්තය සමඟ ඕවල්හිදී පැවැති සිව්වැනි ටෙස්ට් තරගය පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ලකුණු 157කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
මේ ජය සමඟ තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට ද ඉන්දීය පිලට හැකි විය. එංගලන්තයට තරගය ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 368ක ඉලක්කය හමුවේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 210ක් පමණි. හසීබ් හමීඩ් (63) සහ රෝරි බර්න්ස් (50) අර්ධ ශතක රැස් කරමින් එංගලන්ත දෙවැනි ඉනිමට සාර්ථක ආරම්භයක් දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 100ක සබඳතාවක් සමඟිනි. එහෙත් මැද පෙළ පිතිකරුවන් සිව් දෙනකු ලකුණු 6ක් තුළ දැවී යෑමත් සමඟ තරගයේ වාසිය ඉන්දියාව දෙසට හැරිණි. මේ තරගාවලිය පුරා සාර්ථකම පිතිකරු බවට පත්ව සිටි ජෝ රූට්ට රැස් කළ හැකි වූයේ ලකුණු 36ක් පමණි. පන්දු යැවීමේදී උමේෂ් යාදෙව් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ජස්ප්‍රිට් බුම්රා, රවීන්ද්‍ර ජඩේජා සහ ශර්දුල් ඨකූර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ලකුණු 191කට දැවී ගිය අතර, එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 290ක් රැස් කළහ. ලකුණු 99ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දියාව ලකුණු 466ක් රැස් කළේ එංගලන්තයට ලකුණු 368ක ඉලක්කයක් දෙමිනි. ඉන්දීය දෙවැනි ඉනිමේදී ශතකයක් රැස් කළ රෝහිත් ශර්මා තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
දෙපිල අතර 5 වැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ 10 දා මැන්චෙස්ටර්හිදී ආරම්භ වේ.