ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා මාතාව රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම හිමි කර ගත් සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු පිරිස ඊයේ ටෝකියෝ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වීමට සුළු වේලාවකට කලින් ජපානයේ පිහිටි ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.5කට අධික වටිනාකමින් යුත් මෝටර් රථ දෙකක් ක්‍රීඩකයන් දෙදෙනාට පිරිනමනු ලැබීය.
ටෝකියෝ නුවර ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව ගුණසේකර මහතා හා ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණ අලුත්ම නිසාන් නෝට් හා සුසුකි ඇල්ටෝ වර්ගයේ මෝටර් රථ දෙක පිරිනැමීමේ චාම් උත්සවයක් සංවිධාන කර, එම මෝටර් රථවල යතුරු ක්‍රීඩකයන් දෙදෙනාට පිරිනැමූහ.
“රන් ලෝකඩ පදක්කම් දිනා, ලෝක වාර්තා බිහි කර ශ්‍රී ලංකාවට ජපානයේදී දුන් නම්බු නාමය පිළිබඳ පැරා ක්‍රීඩකයන් දෙදෙනාට අපේ සතුට පළ කරනවා. අද ගුවන්තොටුපොළට අපේ ප්‍රජාවේ කට්ටිය ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ අය ගොඩක් රැස් වෙලා ඉන්නවා. මේ ශූරයන් දෙදෙනාට අප රථවාහන දෙකක් පිරිනමනවා. බලා ඉන්න අයට මෙයින් විශාල පණිවිඩයක් වගේම දිරි ගැන්වීමක් ලැබෙනවා. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඕනෑම දෙයක් කළ හැකියි යන පණිවිඩය ලෝකය හමුවේ අපේ ක්‍රීඩකයන් තැබුවා” ටෝකියෝ නුවර ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව ගුණසේකර මහතා පැවසීය.
රන් පදක්කම දිනා නව ලෝක වාර්තාව බිහි කළ දිනේෂ් ප්‍රියන්ත රට ජාතිය වෙනුවෙන් කළ උදාර සේවාව වෙනුවෙන් ගෞරවය පිරිනැමීමේ සහතිකයක්ද ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් මෙයට පෙර ප්‍රදානය කරන ලදි.
ශ්‍රී ලංකා පැරා ක්‍රීඩා කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් ඊයේ පස්වරු 5.10ට මව්බිමට පා තැබූ අතර, එහිදී උණුසුම් ලෙස පිළිගැනීම දැඩි සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව සිදු කෙරිණි. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් පැරාලිම්පික් කණ්ඩායම රතු පලස මතින් පිළිගන්නා ලදි.
ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් පැරා ශූරයන් අද දිනයේ ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා එම පරිශ්‍රයේදී වෙනම විශේෂ පිළිගැනීමකට ලක් කිරීමට සූදානමින් සිටී.
ගුවන් තොටුපොළේ පිළිගැනීමේ උත්සවයට පැරා කණ්ඩායමේ සාමාජිකයන් ද ඇතුළුව 40ක පමණ සීමිත පිරිසක් සහභාගි වී සිටියහ. ඒ සියලු දෙනා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ගුවන්තොටුපොළ වෙත පැමිණීම විශේෂත්වයකි.
පිළිගැනීමෙන් පසු දිනේෂ් ප්‍රියන්ත හේරත්ට කෝටි 5ක් හා සමිත දුලාන් කොඩිතුවක්කුට කෝටි 2ක් පිරිනැමීමේ වෙනම රාජ්‍ය මට්ටමේ උත්සවයක් පසුව සංවිධාන කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ක්‍රීඩකයන් දෙදෙනාගේ පුහුණුකරු වූ ජාතික හෙල්ල විසි කිරීම් පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාට ක්‍රීඩකයන්ට හිමි වන මුදල මෙන් 25%ක් (රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක්) පිරිනැමීමට ද තීරණය කොට ඇත.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් මුදල් තෑගි පිරිනමන විශේෂ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් කෝටියක මුදලක් හා සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් මිලියනයක මුදලක් පිරිනැමීම ද සිදු වේ.