පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක රජයට කියයි
විධිමත් වැඩපිළිවෙළක් යටතේ ලබන ජනවාරි පළමුවනදා සිට හෝ පාසල් විවෘත කරන්න අවශ්‍ය පියවර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පෙරේදා (7) පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීවේය.
“අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට සංකූලතා අඩුම එන්නත දීමට ප්‍රමුඛතාව දිය යුතුයි. එන්නත විදේශගත වෙන ශිෂ්‍යයන්ට මෙන්ම මේ රටේ හතළිස් ලක්ෂයකට අධික පාසල් දරුවන්ටත් වහාම ලබා දෙන්න කටයුතු කරන්නැයි අප ආණ්ඩුවට කියනවා. එහෙම නැත්නම් ඒක මේ රටේ දරුවන්ට වූ සාහසික අපරාධය තවත් ඉදිරියට ගෙනයාමක් විය හැකියි.
අද ගුරුවරුනගේ ගැටලුවටවත් පිළිතුරක් දී නැහැ. ගුරුවරු කියන්නේ මේ රටේ අනාගතය තනන දෙගුරුන් කියායි අප කියන්නේ. අපේ සංස්කෘතියේ මව්පියන්ට කලින් තමයි ගුරුවරයාව තිබ්බේ. ගුරු දෙගුරු කිව්වේ ඒකයි. ඒ සංස්කෘතිය ගැන කිසිම හැඟීමක් නැති පිරිසක් අද ඒ ගුරුවරුන්ට එරෙහිව යුද්ධයක් ආරම්භ කර තියෙනවා. ගුරුවරු, විදුහල්පතිවරු අසහනයට පත්ව වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුව තිබෙන වකවානුවක පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් ආණ්ඩුවට නෑ. රජයේ නායකයන්ගේ දරුවන් විදේශ රටවල ජීවත්වන නිසා ඔවුන්ට ඒ පිළිබඳ සහකම්පනයක් නෑ” යැයි ද කීවේය.
ක්‍රිසන්ති විතාරණ