අභ්‍යන්තර කටයුතු ඇමැති අමෙරිකාව සොයමින් සිටින පුද්ගලයෙක්
තලෙයිබාන් පාලනය යටතේ පසුගියදා පිහිටුවා ගත් භාරකාර රජයේ ඇමතිවරු රැසක් අමෙරිකා සහ බ්‍රිතාන්‍ය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තලෙයිබාන් සංවිධානය නව රජයේ ඇමතිවරුන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමෙන් මොහොතකට පසු අමෙරිකාව නිවේදන නිකුත් කරමින් මේ බව කියා සිටියේය. එමෙන්ම ඇෆ්ගනිස්තාන නව කැබිනට් මණ්ඩලයට කිසිදු කාන්තාවක් ඇතුළත් නොවීමත් බටහිර රටවල දැඩි අවධානයට යොමු විය.
33 දෙනකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන භාරකාර රජයට ආගමික පූජකවරුන් වැඩි පිරිසක් ඇතුළත් වන අතර, ඒ අතරින් අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති ලෙස පත් කර ඇති සිරාජුඩීන් හකානි එෆ්බීඅයි ත්‍රස්තවාදී ලැයිස්තුගත පුද්ගලයකු ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. ඔහු හකානි ජාලයේ නායකයකු බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මීට අමතරව තවත් ඇමතිවරු ගණනාවක් එක්සත් ජාතීන්ගේ තහනම් ලැයිස්තුවට ඇතුළත්ව සිටින බව ද වාර්තා වේ.
ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති සිරාජුඩීන් යනු හකානි ජාලයේ නිර්මාතෘවරයා වන දැනට ජීවතුන් අතර නැති හකානි නමැති පුද්ගලයාගේ පුත්‍රයෙකි. ඔහු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට අමෙරිකාව උත්සාහ දරමින් සිටින අතර, ඔහු පිළිබඳ තොරතුරු සපයන්නන්ට ඩොලර් මිලියන 10ක මුදල් ත්‍යාගයක් පිරිනමන බවටත් නිවේදනය කර තිබිණි.
අල් කයිඩා සංවිධානය සමඟ එක්ව ලොව පුරා ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමට හකානි ජාලය සහය පළ කර ඇතැයි අනාවරණය වී තිබිණි. නව රජයේ භාරකාර අගමැති ලෙස මුල්ලා හසන් අකුන්ද් පත් කර ඇති අතර, ඔහුගේ සහයට පළමු නියෝජ්‍ය අගමැති සහ දෙවැනි නියෝජ්‍ය අගමැති ලෙස තවත් තනතුරු දෙකක් නම් කරමින් මුල්ලා අබ්දුල් ගානි හා අබ්දුල් සලාම් හනෆි නමැති මවුලවිවරයකු පත් කර තිබේ.