29 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිස්සයි20 ප්‍රබලතම පන්දු යවන්නන්ගේ ගැටුම අදයි

විස්සයි20 ප්‍රබලතම පන්දු යවන්නන්ගේ ගැටුම අදයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ලෝක විස්සයි20 ක්‍රිකට් තරග බිමේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දෙක හිමි කර ගෙන සිටින ටබ්‍රයිස් ශම්සි නියෝජනය කරන දකුණු අප්‍රිකාව සහ වනිඳු හසරංග නියෝජනය කරන ශ්‍රී ලංකාව අතර, තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (10) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වන ශම්සි ශ්‍රේණිගත ලකුණු 792ක් හිමි කර ගෙන ඇති අතර, හසරංග දෙවැනි තැන පසු වන්නේ ලකුණු 764ක් සමඟිනි.

මේ හේතුවෙන් අද ආරම්භ වන විස්සයි20 තරගාවලිය ඔවුන් දෙදෙනාගේ සටනක් වී තිබේ.

කෙසේ වෙතත් මේ දෙරට විස්සයි20 තරග බිමේදී හමු වන 5 වැනි තරගාවලිය මෙය වන අතර, අද පැවැත්වෙන්නේ දෙපිල අතර 14 වැනි තරගයයි.

මින් පෙර පැවැති 13න් 7ක ජය දකුණු අප්‍රිකාවටත්, තරග 5ක ජය ශ්‍රී ලංකාවටත් හිමි වී ඇති අතර, එක් තරගයක් ලකුණු සම වී තිබේ. එම තරගය සුපිරි ඕවරයෙන් ජය ගත්තේ දකුණු අප්‍රිකාවයි.

දෙරට විස්සයි20 පිටියේදී අවසන් වරට හමු වූයේ 2019 වසරේ මාර්තු මස දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙනි. එම තරගාවලියේ පළමු තරගයේදී සුපිරි ඕවරය ක්‍රියාත්මක විය. ඉන් පෙර 2018 වසරේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවති එකම තරගය සහ 2017 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති තරගාවලියේ (2-1) ජය ශ්‍රී ලංකාව සතු වී ඇත. 2013 වසරේ හමු වූ පළමු ද්විපාර්ශ්වික විස්සයි20 තරගාවලිය ජය ගත්තේ දකුණු අප්‍රිකාවයි.

දසුන් ශානක දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි20 කණ්ඩායමට නායකත්වය දෙන පළමු අවස්ථාව මෙය වුව ද ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ විස්සයි20 තරග 6න් 5ක ජය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

නිමා වූ ආරාධිත විස්සයි20 තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකා පිලට එක්ව ඇති අතර, හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් මෙන්ම ආරම්භ පිතිකරු කුසල් ජනිත් පෙරේරා යළි කණ්ඩායමට එක් වීම ශානකට ශක්තියක් වනු ඇත. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා විස්සයි20 තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට නායකත්වය දී ඇත්තේ චන්දිමාල්ය.

නිත්‍ය නායක ටෙම්බා බවුමා ආබාධයක් හේතුවෙන් යළි සිය රට බලා පිටත්ව යෑම දකුණු අප්‍රිකා පිලට පාඩුවක් වුවද එක්දින තරගාවලියෙන් විවේක ගත් ජ්‍යෙෂ්ඨ කඩුලු රකින මැද පෙළ පිතිකරුවකු වන ක්වින්ටන් ඩි කොක්, පෞද්ගලික හේතුවක් මත එක්දින තරගාවලියෙන් ඉවත් වූ වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩි සහ ඩේවිඩ් මිලර් ද විස්සයි20 සංචිතයට එක් වීම ඔවුන්ට ශක්තියක් වනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය:

දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු කුමාර, ළහිරු මධුශංක, පුලින තරංග, මහීෂ් තීක්ෂණ.

දකුණු අප්‍රිකා සංචිතය:

ක්වින්ටන් ඩි කොක්, බියෝන් ෆෝචුයින්, බියුරන් හෙන්ඩ්‍රික්ස්, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රිච් ක්ලැසන්, ජෝර්ජ් ලින්ඩේ, කේෂව් මහරාජ්, සිසඳ මාගල, ඒඩ්න් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, වියාන් මෝල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නෝර්ට්ජේ, ඩ්වේන් ප්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, ටබ්‍රයිස් ෂම්සි, රසී වෑන් ඩර් ඩුසෙන්, ලීසාඩ් විලියම්ස්.