තලේබාන් සංවිධානය කාන්තාවන්ට ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කළ හොත් ලබන මස පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානයට එරෙහි ක්‍රීඩා වර්ජනයක් සිදු කරන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ටිම් පේන් ඊයේ පැවැසීය.
ඇෆ්ගනිස්තානයේ නව පාලනය කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන් කෙසේ කටයුතු කරන්නේ දැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට තවමත් දැනුම්දීමක් කර නැති අතර, ඇෆ්ගනිස්තානයේ පිරිමි කණ්ඩායම ලබන මස 17 සිට නොවැම්බර් 14 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී ක්‍රීඩා කරන බව දැනුම්දී ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල රෙගුලාසි වලට අනුව, ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ඇති සෑම රටකටම සක්‍රීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ද තිබිය යුතු අතර තලේබාන් සංවිධානය ඒ අනුව කටයුතු නොකරන්නේ නම් මේ වසරේ නොවැම්බර් මාසයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව හොබාර්ට් හි පැවැත්වෙන මංගල ටෙස්ට් තරගය අවලංගු කරන බව ඔස්ට්‍රේලියාව මෙයට දින දෙකකට පෙර ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ එම ස්ථාවරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පූර්ණ සහයෝගය දක්වන බව පවසන නායක ටිම් පේන්, ලෝක කුසලානය සඳහා ද ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිලට ප්‍රතිවිපාක විදින්නට හැකි බව පැවසීය.
“මම හිතන්නේ එය කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කළ යුතු දෙයක්. ඔවුන් තරගාවලියට රැගෙන යෑම හෝ රටවල් වර්ජනය කිරීම ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ කණ්ඩායම් සාකච්ඡා කරනු ඇති දෙයක්. ඒ නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඒ ගැන අදහස් දැක්වීමක් කළ යුතුයි,” ඔහු පැවසීය.
ප්‍රින්ස් ගුණසේකර