ලබන මස 17 දා ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් රැසක් මේ වන විට සිය සංචිත ප්‍රකාශයට පත් කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී පැවැත්වීමට නියමිත මේ තරගාවලිය නොවැම්බර් 14 වැනිදා නිමාවට පත් වීමට නියමිතය. තරගාවලිය එමීර් සහ ඕමානයේ පැවැත්වුව ද එහි සත්කාරක අයිතිය තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් ආයතනයටයි.
බටහිර ඉන්දීය කොදෙව්වෝ
වත්මන් විස්සයි20 ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව්වන් මෙවර තරගාවලියේදී එම ශූරතාව රැක ගැනීම සඳහා ප්‍රබල සංචිතයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
කිරන් පොලා නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර, අතිරේක ක්‍රීඩකයන් සිව් දෙනකු ද එක් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.
මේ දිනවල කැරිබියන්හිදී පැවැත්වෙන සීපීඑල් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වන රවී රම්පෝල් යළි සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. 2012 වසරේ ශ්‍රී ලංකාව පරාජය කරමින් විස්සයි20 ලෝක ශූරතාව දිනා ගත් කොදෙව් කණ්ඩායමේ සාමාජිකයකු වූ රවී යළි සංචිතයට එක් වන්නේ වසර 2015න් පසුවය.
ප්‍රහාරාත්මක පිතිකරුවකු වන රොස්ටන් චේස් ද පළමු වරට සංචිතයට එක් කර ඇති අතර, 41 හැවිරිදි ක්‍රිස් ගේල් ද ස්ථානයක් හිමි කර ගෙන ඇත. කෙසේ වෙතත් තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ජේසන් හෝල්ඩර් සහ ඩැරන් බ්‍රාවෝ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇති අතර, සුනිල් නරේන්ට ස්ථානයක් හිමිව නැත.
එංගලන්තය
වසර 4කට පසු වේග පන්දු යවන 29 හැවිරිදි ටයිමාල් මිල්ස් කණ්ඩායමට කැඳවමින් එංගලන්තය ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කළේය.
ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් මෙි සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර, අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙක් එක් කිරීමට ද කටයුතු කර ඇත.
2016 වසරේ ශ්‍රී ලංකා පිලට එරෙහිව විස්සයි20 තරග බිමට පිවිසි මිල්ස් 2017 වසරේ පෙබරවාරි මාසයෙන් පසු එංගලන්තය වෙනුවෙන් විස්සයි20 තරගවලට එක්ව නැත. ඔහු සමඟ ක්‍රිස් වොක්ස් ද සංචිතයට කැඳවා ඇත අතර, තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් සහ ටෙස්ට් නායක ජෝ රූට්ට සංචිතයේ ඉඩක් නැති වීම කැපී පෙනෙන සිදු වීමකි.
ඩේවිඩ් විලී සහ සෑම් බිලිංග්ස් ද සංචිතයට එක්ව ඇති අතර, ටොම් කරන්, ලියම් ඩෝසන් සහ ජෙම්ස් වින්ස් අතිරේක ලැයිස්තුවේ සිටිති.
දකුණු අප්‍රිකාව
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ පළමු තරගයේදී ආබාධයකට ලක් වූ ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් නම කර ඇති දකුණු අප්‍රිකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර, නමි කර ඇති අතිරේක ක්‍රීඩකයන් සංඛ්‍යාව 3කි.
මේ තරගාවලියට පෙර බවුමා සුවය ලබනු ඇතැයි එරට ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාව වී තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්, හිටපු නායක ෆෆ් ඩු ප්ලෙසිස් සහ ඉම්රාන් තහීර් ද සංචියට නම් කර නැති වීම විශේෂත්වයකි. පසුගිය පෙබරවාරි මාසයේ ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගත්තද ලෝක කුසලාන තරගාවලිය ඔහුගේ ඉලක්කයක් වී තිබිණි. තහීර් ද ටෙස්ට් සහ එක්දින පිටියෙන් ඉවත් වූයේ එම අරමුණිනි.
මේ දිනවල ශ්‍රී ලංකා තරග සංචාරයට එක්ව සිටින බියුරන් හෙන්ඩ්‍රික්ස්, ජෝර්ජ් ලින්ඩේ, සිසඳ මාගල සහ ලීසාඩ් විලියම්ස්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැත.
බංග්ලාදේශය
විස්සයි20 ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 8ට එක් වීමට නොහැකි වීම හේතුවෙන් සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වීම සඳහා සුදුසුකම් ලැබීමේ වටයෙන් තරග වදින බංග්ලාදේශය ද සිය සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.
මහ්මුදුල්ලාහ්ගේ නායකත්වයෙන් යුත් සංචිතය ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් සමන්විතය.
අත්දැකීම් බහුල වේග පන්දු යවන්නකු වන රුබෙල් හුසේන් අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර තිබීම විශේෂත්වයක් වන අතර, ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි20 තරගාවලියේදී අසාර්ථක වූ ලකුණු සෞම්‍ය සර්කාර් මේ සංචිතයේ ස්ථානයක් වෙන් කර ගැනීමට සමත්ව තිබේ. ඔහු ඊයේ රාත්‍රියේ නිමා වීමට නියමිතව තිබූ නවසීලන්තයට එරෙහිව තරගාවලියට එක්ව සිටියද මුල් තරග හතරේදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබිණි.
ඕමානය
මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරක රටක් වන ඕමානය සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.
මේ තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කළේ සීෂාන් මක්සූඩ්ගේ නායකත්වය යටතේ ය. මින් වසර 5කට පෙර සිය මංගල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ සංචිතයෙන් වැඩි ක්‍රීඩකයන් ප්‍රමාණයක් මෙවරත් රඳවා ගැනීමට කටයුතු කර ඇත. නෙස්ටර් දම්බා සහ අයාන් ඛාන් අලුතින් සංචිතයට එක්ව සිටිති.
අයර්ලන්තය
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ වටයේ ක්‍රීඩා කරන අයර්ලන්ත කණ්ඩායම ඇන්ඩ් බල්බර්නිගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙයි. මේ සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනකු ඇතුළත් වන අතර, තවමත් අන්තර්ජාතික තරග වරම් දිනා නැති 22 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ග්‍රැහැම් කෙනඩි සංචිතයට ඇතුළත් වීම විශේෂත්වයක් වන අතර, තුන් ඉරියව් ක්‍රීඩක ගැරත් ඩෙලනි සහ දඟ පන්දු යවන ක්‍රීඩක ඇන්ඩි මැක්බ්‍රයින් යළි කැඳවා තිබේ.
සුදුසුකම් ලැබීමේ වටයේදී අයර්ලන්තය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින්නේ ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය සහ නැමීබියාව සමඟිනි.
නැමීබියාව
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට එක්ව සිටින නැමීබියාව ද සිය සංචිතය ප්‍රකාශයට පත් කළ අතර, ගෙර්හාඩ් ඉරැසමස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු එක් කර ඇති අතර, අතිරේක ක්‍රීඩකයකු ද එක් කර ඇත. මේ සංචිතයේ විශේෂත්වය වන්නේ හිටපු දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වීසේ නම් කර තිබීමය.
නිරෝෂාන් ප්‍රියංකර