එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන
හදිසි නීතිය පනවා සතියක් ගත වුවත් එකම පාරිභෝගික භාණ්ඩයකවත් මිල අඩු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප ජ්‍යෙෂ්ඨයන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (9) පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කෙළේය.
තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
“ආණ්ඩුව වහාම හදිසි නීති රීති හකුලා ගත යුතුයි. සාධාරණ මිලට ජනතාවට ආහාර දීමේ මුවාවෙන් සම්මත කරගත් හදිසි නීතිය ජනතාවට සෙතක් සැලසීමට නොයෙදවීම ආණ්ඩුවේ ප්‍රබල දුර්වලතාවයක්.
1978 වසරේ සුළිසුළං අවස්ථාවේදී ජේ.ආර් .ජයවර්ධන ජනාධිපතිවරයාත්, සුනාමි ව්‍යසනය අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියත් හදිසි නීති රෙගුලාසි පනවා ජනතාවට සෙත සැලසීමට ක්‍රියා කළා. කොරෝනා වසංගතය හමුවේ රාජපක්ෂ ආණ්ඩුව පැන වූ හදිසි නීති රෙගුලාසිවලින් ජනතාවට කිසිදු සෙතක් වී නැහැ.
ඉහත මුල් අවස්ථා දෙකේදීම හදිසි නීතිය පැනවීමේදී ජනතාවගේ මූලික අයිතිවාසිකම් උදුරා ගැනීමට ක්‍රියා නොකළ නමුත් මේ අවස්ථාවේ පැනවූ හදිසි නීතිය නිසා ජනතා අයිතිය උදුරා ගෙන තිබෙනවා.”
හදිසි නීති රෙගුලාසි පනවා සීනි සහ සහල් ඇල්ලීමට කරන මෙහෙයුම්වලදී මහවැලි කලාප ආශ්‍රිත ඇළ වේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අැමැති සිරිපාල ගම්ලත් මහතාගේ වී මෝල වැටලීමෙන් පසුව ඔහුට තවදුරටත් රාජ්‍ය අැමැති ධූරයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් තිබේ දැයි විජයවර්ධන මහතා ප්‍රශ්න කෙළේය.
ශිරෝමි අබයසිංහ