වසර 44කට පසු බ්‍රිතාන්‍යයට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කුසලානයක් අත් කර දීමට යොවුන් ක්‍රීඩිකා එමා රඩුකානු සමත් වූවාය. 18 හැවිරිදි වියෙහි පසු වන මේ සුරූපි ක්‍රීඩිකාව පෙරේදා අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාවලියේ කුසලානය දිනා ගනිමින් බ්‍රිතාන්‍යයට මේ කීර්තිය ගෙන දුන්නාය.
බ්‍රිතාන්‍යය අවසන් වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කුසලානයක් දිනා ගත්තේ 1977 වසරේදීය. හිටපු ක්‍රීඩිකා වර්ජිනියා වේඩ් එම වාර්තාව තැබුවේ විම්බල්ඩන් ටෙනිස් කුසලානය දිනා ගනිමිනි. මෙවර එමා බ්‍රිතාන්‍යයට කීර්තිය දිනා දුන් අවස්ථාවේ ඇය ද තරගය නැරඹීමට එක්ව සිටියාය. එමාට පෙර අවසන් වරට අමෙරිකන් විවෘත ටෙනිස් කුසලානය දිනා ගනු ලැබුවේ ද වර්ජිනියා විසිනි. ඇය 1968දී මේ දස්කම පෑවාය.
නිව්යෝක් නුවර පැවැති අමෙරිකන් විවෘත ටෙනිස් ශූරතාවලියේ නොම්මර එකේ ක්‍රීඩිකාවන් සියලු දෙනා පරාජයට පත් වෙද්දී අවසන් මහා තරගය දක්වා ආපසු නොහැරුණු ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 150 ස්ථානයේ සිටි මේ යොවුන් ක්‍රීඩිකාව ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානයක් දිනා ගත්තේ පළමුවරටය. එමෙන්ම ඇය සුදුසුකම් ලැබීමේ අවස්ථාවකින් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියකට පැමිණ කුසලානය අත්කර ගත් පළමු ක්‍රීඩිකාව ද වූවාය.
අවසන් මහා තරගයේදී සිය ප්‍රතිවාදිනිය වූ 19 හැවිරිදි කැනඩා ක්‍රීඩිකාව ලයිලා ෆර්නැන්ඩේස් ලකුණු 6-4ක් සහ 6-3කින් පරාජය කිරීමට එමා සමත් අතර, ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයට මෙවැනි ළාබාල වියේ පසු වන ක්‍රීඩිකාවන් දෙදෙනකු තරග වැදුණේ වසර 22කින් පසුය. අවසන් වරට යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනකු අමෙරිකන් විවෘත ටෙනිස් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ 1999 වසරේදීය. එවර අමෙරිකාවේ සුපිරි ක්‍රිඩිකා සෙරීනා විලියම්ස් සහ ස්විට්සර්ලන්තයේ මාටිනා හිඟින්ස් අතර තරගයෙන් සෙරීනා ජය ගත්තාය.
අමෙරිකා ටෙනිස් කුසලානය දිනා ගනිමින් එමා තැබූ වාර්තා රැසකි. වසර 2004දී රුසියාවේ මරියා ෂරපෝවාගෙන් පසු ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානයක් දිනූ ළාබාලතම ක්‍රීඩිකාව ද ඇය වේ. එමෙන්ම මෙවැනි කුසලානයක් දිනූ ළාබාලතම බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩිකාව ලෙසත් ඇය වාර්තාපොතට ඇතුළත් වූවාය.
අමෙරිකන් විවෘත ටෙනිස් ජයග්‍රහණයත් සමඟ ඇය ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 23 වැනි තැන දක්වා ඉහළට පැමිණි අතර, බ්‍රිතාන්‍යයේ නව නොම්මර එකේ ක්‍රීඩිකාව බවට පත් වූවාය.
ඇය නැවත ලන්ඩනයට යන්නේ අමෙරිකා ඩොලර් මිලියන 2.5ක මුදල් මල්ලක් අතැතිවය. රොමේනියා පියකුට හා චීන මවකට දාව කැනඩාවේ උපන් මේ ක්‍රීඩිකාව පවුලේ සාමාජිකයන් සමඟ ලන්ඩනයට සේන්දු වූයේ දෙහැවිරිදි වියේදීය. ඇගේ මේ ජයග්‍රහණයට එලිසබෙත් රැජන මෙන්ම බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද සුබ පැතූහ.