කලකට පසු සුදුස්සාට සුදුසු තැන
දකුණු ආසියා පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු පිල කටාර් රාජ්‍යයේ පැවැත්වෙන දින 16ක පමණ විශේෂ පුහුණුවක් සඳහා හෙට දිවයිනෙන් පිටත් වෙයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා හා කටාර් පාපන්දු සභාපති ෂේක් හමීඩ් බින් කලීෆා මහතා අතර පැවති දුරකතන සංවාදයකින් අනතුරුව මේ අවස්ථාව උදා වී ඇත.
කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන රට වසා ඇති හෙයින් පාපන්දු ක්‍රීඩකයන්ට ක්‍රමවත් පුහුණුවක් ලැබීමට නොහැකි වූ පසුබිමක දකුණු ආසියා තරගාවලියට උසස් තාක්ෂණික පහසුකම් ඇති විශේෂ පුහුණුවක් දීමේ අවශ්‍යතාව වැනි කරුණු සැලකිල්ලට ගෙන මේ විශේෂ පුහුණු සැසිය සූදානම් කර තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු පිලේ ක්‍රීඩකයන් 27ක් හා පුහුණු කාර්ය මණ්ඩලයේ 11ක පිරිසක් මේ කටාර් විශේෂ පුහුණු සැසිය සඳහා දෝහා බලා පිටත් වීමට නියමිත අතර අනතුරුව දකුණු ආසියා පාපන්දු තරගාවලිය වෙනුවෙන් දෝහා සිට මාලදිවයින වෙත මේ 26 දා ශ්‍රී ලංකා පාපන්දු පිල ගමන් අරඹනු ඇත.
මේ අතර මාලදිවයිනේ පැවැත්වෙන දකුණු ආසියා පාපන්දු තරගාවලියට යන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ තාක්ෂණික පුහුණුකරු ලෙස මොහොමඩ් හසන් රූමී මහතා පත් කර ඇත. ආසියානු පාපන්දු සම්මේලනයේ ‘ඒ’ සහතික ලත් ඩිප්ලෝමාධාරියකු වූ ඒ මහතා මෙරට පුහුුණුකරුවන් අතුරින් ඉහළ සුදුසුකම් සපුරා ලූ අයකු වන අතර හොඳම ප්‍රතිඵල පෙන්වූ දක්ෂතම පුහුණුකරුවෙකි.
ඉතා කෙටි කලක් තුළ කොළඹ පාපන්දු සමාජය ජයග්‍රාහී මාවතට ඔසවා තැබූ රුමි මහතාට ජාතික පාපන්දු පිලේ අවස්ථාවක් ලැබු පළමු අවස්ථාව මෙය විය. ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ පළමු වරට අන්තර් සමාජ ප්‍රධානතම පාපන්දු ශූරතාව පිට පිට තුන්වතාවක් දිනාගත් එකම ක්‍රීඩා සමාජය බවට කොළඹ පාපන්දු සමාජය පත් වෙදේදී එහි පුහුණුකරුට නිසි තැනක් නැත්තේ ඇයිද? යන්න බොහෝ කලක සිට පාපන්දු පරිපාලනයෙන් විමසීම් කළද සාර්ථක පිළිතුරක් නොවුණි. එහෙත් මෙවර ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ තාක්ෂණික පුහුණුකරු ලෙස මොහොමඩ් රුමි හසන් මහතා පත් කිරීමට පාපන්දු පරිපාලනය කටයුතු කිරීම ක්‍රීඩා පිටියේ සුදුස්සාට සුදුසු තැන පිරිනැමීමකි.
ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ තමන් ඇතුළු කණ්ඩායම බලයට පැමිණෙද්දී දුන් පොරොන්දු අනුව සුදුස්සාට සුදුසු තැන දීම ඉදිරියේදී වඩාත් වේගවත් වනු ඇති බවය. “අපේ පාපන්දුව නංවාලීමට අලුත් දේවල් සොයා ගත් යුතුයි. දකුණු ආසියා පාපන්දු තරගාවලිය එහි මුල් පියවර පමණයි. වාද භේදවල සිර වී පාපන්දුව දියුණු කරන්න බෑ. ඡන්ද කාලේ උදවු කළා ද නැද්ද යන්න දැන් සැලකිල්ලට ගන්නේ නෑ. දක්ෂයන්ට දොර විවර කරනවා. අපේ විධායක කමිටුවේ හොඳ දැක්මක් තිබෙනවා. අපි සාමූහිකව තීන්දු ගෙන ඉදිරියට යනවා” පාපන්දු සභාපතිවරයා පැවසීය.
ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව වසර 2015 සිට පිට පිට තුන් වතාවක් කොළඹ පාපන්දු සමාජයට දිනා දුන්නේ මොහොමඩ් හසන් රූමී මහතාගේ පුහුණුව යටතේය. 2014 හා 2018දී එහි අනුශූරයන් වීමට ද රූමි මහතාගේ සේවය වැදගත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එෆ්.ඒ. කුසලාන පාපන්දු ශූරතාව 2015දී දිනාගත් කොළඹ පිල 2020දී සභාපති කුසලානය ද රැගෙන ගියේය. ආසියානු ක්‍රීඩා සමාජ ශූරතාව සදහා කොළඹ පාපන්දු සමාජය සහභාගී වූයේ ද මොහොමඩ් හසන් රූමී මහතා යටතේය.
කොළඹ සහිරා විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා පාසල් කාලයේම රත්නම් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය. සහිරා විදුහලෙන් රත්නම් පිලට පිවිසි පළමු ක්‍රීඩකයා ද ඔහු වේ. පසුව පොලිස් ක්‍රීඩා සමාජයට හා ගුවන් හමුදාවට එක් වූ ඒ මහතා ඕල්ඩ් සහිරියන්, සුපර් සන් ක්‍රීඩා සමාජවල පුහුණුකරු ලෙස කටයුතු කරමින් ජයග්‍රහණ රැසක් දිනා දුන්නේය. ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු, අවු:16න් පහළ ජාතික පිලේ, සහිරා විදුහලේ, රාජකීය විදුහලේ, එක්ස්පෝ පාපන්දු පිලේ හා සිටි පාපන්දු ලීගයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඒ මහතා කටයුතු කළේය. හිටපු අන්තර්ජාතික පාපන්දු විනිසුරකුද වන බැවින් ඔහුට පාපන්දු නීති රීති හා ක්‍රීඩා පිටියේ විනය පිළිබඳ ඇත්තේ මනා දැනුමකි.