දකුණු ආසියා පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු පිල කටාර් රාජ්‍යයේ දින 16ක පමණ විශේෂ පුහුණුවක් සදහා පිටත් වන අතර, ඒ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම ගෝල් කීපර් ක්‍රීඩකයෝ 5ක් ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා සමඟ ප්‍රභාත් රුවන් අරුණසිරි, ආර්.පී. ධනුෂ්ක, කවීෂ ලක්ප්‍රිය හා නුවන් ගිම්හාන එම ගෝල් කීපර් ක්‍රීඩකයෝ වෙති. සුජාන් පෙරේරා මාලදිවයිනේ අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියට එක්ව විශාල අත්දැකීමක් ඇති ක්‍රීඩකයකු වන අතර වසර 2010 සිට ජාතික පාපන්දු පිල නියෝජනය කරමින් සිටී. 29 හැවිරිදි සුජාන් අප් කන්ට්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට එක්ව සිටී.
28 හැවිරිදි ප්‍රභාත් රුවන් අරුණසිරි බ්ලූ ඊගල්ස් පිල නියෝජනය කරන අතර, 2013 සිට ශ්‍රී ලංකා පාපන්දු සංචිතයට එක්ව සිටී. එමෙන්ම 28 හැවිරිදි ආර්.පී. ධනුෂ්ක වෙන්නප්පුව නිව්යංග්ස් පිලෙන් ජාතික පාපන්දු පිලට එක් වූ අතර 2013 සිට ශ්‍රී ලංකා සංචිතයේ සිටී.
26 හැවිරිදි කවීෂ ලක්ප්‍රිය කළුතර බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර, 2015 සිට ජාතික පාපන්දු සංචිතයේ සිටී. 22 හැවිරිදි නුවන් ගිම්හාන ගෝල් ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර, මෙයට වසර 3කට පෙර ජාතික පාපන්දු පිලට එක් විය.
ශ්‍රී ලංකා ගෝල් කීපර් ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස ජර්මානු ජාතික අමීර් ඩොක්සැනල්ටික් මහතා කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකා පාපන්දු පිලේ ක්‍රීඩකයන් 27ක් හා පුහුණු කාර්ය මණ්ඩලයේ 11ක පිරිසක් මෙම කටාර් විශේෂ පුහුණු සැසිය සදහා දෝහා බලා පිටත් වීමට නියමිත අතර අනතුරුව දකුණු ආසියා පාපන්දු තරගාවලිය වෙනුවෙන් දෝහා සිට මාලදිවයින වෙත මේ 26 දා ශ්‍රී ලංකා පාපන්දු පිල ගමන් අරඹනු ඇත.
ප්‍රින්ස් ගුණසේකර