26 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජූඩෝ වල්වදියි මූලස්ථානය කුඩ්ඩන්ගේ රජ දහනක්

ජූඩෝ වල්වදියි මූලස්ථානය කුඩ්ඩන්ගේ රජ දහනක්

කෝටි ගණනක් වැය කර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට යාබදව ඉදි කළ ශ්‍රී ලංකා ජූඩෝ සංගම් මූලස්ථාන ගොඩනැඟිල්ල හා ජූඩෝ ගෘහස්ථ ක්‍රීඩාංගණය වල්වැදී විනාශයට පත්ව තිබේ. එහි වහලය දිරාපත්ව ඇති අතර, ජනේල් දොරවල් කඩා වැටී නටබුන් බවට පත් වෙමින් ඇත.

කැලෑවැදී ඇති මේ ගොඩනැඟිල්ල දැන් මත්කුඩු පානය කරන්නන්ගේ රජ දහනක් බවට පත්ව ඇතැයි චෝදනාවකි.

ඇතැම් ක්‍රීඩා සංගම්වලට මෙවැනි ගොඩනැඟිලි පහසුකම් නැති තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකා ජූඩෝ සංගමයට ඇති දැවැන්ත ගොඩනැඟිල්ල ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.

වසර 2000දී එවක ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ සභාපති දිවංගත මේජර් ජෙනරාල් ගාමිණී නානායක්කාර මහතාගේ බලවත් උත්සාහයෙන් රු. ලක්ෂ 150ක් පමණ වැය කර ගොඩනැඟූ මේ ගොඩනැඟිල්ල සියලු පහසුකම්වලින් යුත් එකකි. ගොඩනැඟිල්ල ඉදි කිරීම සදහා ඉඩම එවක ක්‍රීඩා ඇමැති එස්.බී. දිසානායක මහතා පිරිනැමූ අතර, මූල්‍ය ප්‍රතිපාදන ජපානයේ පිහිටි අන්තර්ජාතික ජූඩෝ සම්මේලනය මඟින් හා ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ යාවජීව සාමාජිකයන්ගෙන් ලැබී තිබිණි.

වසර කිහිපයක් ගත වෙද්දී ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ ඇති වූ පරිපාලන අර්බුද හේතුවෙන් නිලධාරීන් දෙකට බෙදී තනතුරු ආරක්ෂාකර ගැනීමට පමණක් සිතීමෙන් ජූඩෝ සංගම් මූලස්ථාන ගොඩනඟිල්ල හා ගෘහස්ථ ක්‍රීඩාංගණය වළපල්ලට වැටිණි.

ශ්‍රී ලංකා ජූඩෝ සංගමය තුළ කලක පටන් සිදු වී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා හා අවභාවිත සොයා බැලීමට පරීකෂණ මණ්‌ඩල පවා පත් කෙරුණු අතර, හිටපු නිලධාරීන්ට ක්‍රීඩාව තහනම් කිරීමටද සිදු විණි.

ප්‍රින්ස් ගුණසේකර