පිට පිට තුන්වැනි වරටත් දුර්වල පිතිහරඹය හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකා පිල සමඟ ඊයේ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි හා අවසන් විස්සයි20 තරගයෙන් කඩුලු 10ක පරාජයක් අත්විඳි ශ්‍රී ලංකා පිල තරග 3-0ක තරගාවලි පරාජයක් උරුම කරගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට නියමිත ඕවර 20 අවසානයේ රැස් කිරීමට හැකි වූයේ කඩුලු 8කට ලකුණු 120ක් පමණි. ජයග්‍රහණය හඹා ගිය දකුණු අප්‍රිකා පිල කිසිවකු නොදැවී අවශ්‍ය ඉලක්කය සපුරා ගත්තේ තවත් ඕවර 5කුත්, පන්දු 2ක් ඉතිරිව තිබියදීය.
ඊයේ තරගයේදිත් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර, පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු සංඛ්‍යාව 18ක්ව තිබියදීය. අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම ලකුණු 12කට සීමා කළ කගීසෝ රබාඩා භානුක රාජපක්ෂ ලකුණු 5ක් ලබා සිටියදී කඩුල්ල බිඳ දැමූ අතර, ඊට පෙර අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා තුන්වැනි වරටත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 19ක්ව තිබියදීය.
චරිත් අසලංක වෙනුවට ඊයේ තරගයට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 10කට දැවී යද්දී නායක දසුන් ශානකට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 18ක් පමණි. චාමික කරුණාරත්න පන්දු 19කදී හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 24ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමට තරමක් ජීවයක් දුන් අතර, මුළු ලකුණු සංඛ්‍යාව 80ක්ව තිබියදී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පන්දු 33කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 39කට දැවී ගියේය.
ලකුණු 121ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිලේ ආරම්භක පිතිකරු යුගලය රීසා හෙන්ඩ්රික්ස් සහ කුයින්ටන් ඩි කොක් නොදැවී ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණ දක්වා රැගෙන ගියහ. දෙදෙනාම අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ. පන්දු 42කට මුහුණ දුන් හෙන්ඩ්රික්ස් නොදැවී ලකුණු 56ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගිනි. හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 59ක් රැස් කළ ඩි කොක්ගේ ඉනිමට වැය වූයේ පන්දු 46ක් පමණි.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම හිමිකර ගනු ලැබුවේ කුයින්ටන් ඩි කොක් විසිනි.
ශ්‍රී ලංකා පිල – 120/8 (ඕවර 20) කුසල් ජනිත් 39, චාමික කරුණාරත්න නොදැවී 24 ( බියොන් ෆෝචූන් 21/2, කගීසෝ රබාඩා 23/2)
දකුණු අප්‍රිකා පිල – 121 යි. කිසිවකු නොදැවී (ඕවර 14.4) කුයින්ටන් ඩි කොක් නොදැවී 59, රීසා හෙන්ඩ්රික්ස් නොදැවී 56යි.
ෆවුස් මොහොමඩ්