28.9 C
Colombo
Thursday, June 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහබැංකුව දේශපාලනීකරණයෙන් මුදා ගත යුතුයි

මහබැංකුව දේශපාලනීකරණයෙන් මුදා ගත යුතුයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකා මහබැංකුව දේශපාලනීකරණයෙන් මුදා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එම නිසා අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂ නායකවරයා කියයි.

මහ බැංකු අධිපති ධුරය සඳහා අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කරයි. රට මුහුණ දී සිටින ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට නම් ජාත්‍යන්තරයේ විශ්වසනීයත්වය දිනා ඇති, කළු පැල්ලම් නැති පුද්ගලයෙකු මහ බැංකු අධිපති වශයෙන් පත් කරනවා විනා පෞද්ගලික හැදුනුම්කම් මත ඔළුගෙඩි මාරු කිරීම ඵලදායි නොවන බව ද හෙතෙම එහි සදහන් කරයි. විශ්වාසනීයත්වය බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති සහ අඳුරු අතීතයක් සහිත පුද්ගලයෙකු නැවත රටේ ප්‍රධාන මූල්‍ය නියමුවා ලෙස පත් කිරීමට රජය කටයුතු කරන්නේ නම් එය රටේ සමස්ත ජනතාවට කරන ද්‍රෝහීකමක් වන අතර ජනතාවට වගකියන විපක්ෂයක් ලෙස ඊට බලවත් විරෝධය පළ කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කරයි. මහ බැංකුවේ විශ්වාසනීයත්වයට මරු පහරක් එල්ල කරමින් අඳුරු ඉතිහාසයක් සහිත පුද්ගලයකුට එහි අධිපති ධුරය දීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීම වැළැක්විය නොහැකි බවද හෙ‍තෙම පෙන්වා දෙයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ කාලය තුළදී තෙල් සංස්ථාවට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ කුප්‍රකට හෙජින් ගනු දෙනුව, අපේ රටට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ ග්‍රීක බැඳුම්කර නිකුතුව වැනි බොහෝ චෝදනාවලින් බරපතළ කලු පැල්ලම් එක්කර ඇතැයි ද ඔහු සඳහන් කරයි. එමෙන්ම දැනට අමෙරිකාවේ වසර 12ක සිර දඬුවම් විඳින අමෙරිකානු ජාතිකයකු වන සුබේරි නැමැත්තා සමඟ ඩොලර් මිලියන 6.5කට වැඩි මුදලක් අරභයා කළ අනීතික ගනු දෙනු සම්බන්ධයෙන්ද එවක අධිපතිව සිටි කබ්රාල් මහතා ප්‍රමුඛ මහබැංකුවට චෝදනා එල්ල වී ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් සිය නිවේදනයෙන් පෙන්වා දෙයි

පහන් විජේසේකර