සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති විස්සයි20 ක්‍රිකට් තරගාවලිය නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පිලට පූර්ණ පරාජයක් අත් කර දෙමිනි. මේ සමඟ ශ්‍රී ලංකා පිල පිට පිට දෙවැනි වරටත් දකුණු අප්‍රිකාව හමුවේ විස්සයි20 තරගාවලියක් 3-0කින් පරාජයට පත් විය.
දකුණු අප්‍රිකා පන්දු බළඇණිය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් නොලැබුණු අතර, ඔවුන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය ප්‍රශ්නාර්ථයක් මතු කරන්නේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉතිරිව ඇත්තේ තවත් මාසයක පමණ කාලයක් බැවිනි.
මේ තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් පමණක් අර්ධ ශතකයක් (66) රැස් කළ අතර, ඊළඟට වාර්තා වූ ඉහළම ඉනිම වූයේ කුසල් පෙරේරාගේ ලකුණු 39යි.
චන්දිමාල් තරග 2කදී ලකුණු 71ක් රැස් කරද්දී කුසල් පෙරේරා ද තරග 2කදී ලකුණු 69ක් රැස් කළේය. නම ගිය මුල් සහ මැද පෙළ පිතිකරුවන් පසුපසට යද්දී චාමික කරුණාරත්න ලකුණු 54ක් සහ නායක දසුන් ශානක ලකුණු 44ක් රැස් කළේ තරග 3කට එක් වෙමිනි.
භානුක රාජපක්ෂ ඉනිම 3කදී ලකුණු 25කට සීමා වෙද්දී උපනායක ධනංජය ද සිල්වාට තරග 3ටම එක් වෙමින් රැස් කළ හැකි වූයේ ලකුණු 6ක් පමණි.
අවසන් තරග දෙකේදී අපේ පන්දු යවන්නන්ට රැක ගැනීමට තරම් ලකුණු සංඛ්‍යාවක් නොවීමත්, දකුණු අප්‍රිකා පිතිකරුවන්ගේ සැලසුම් සහගත ක්‍රීඩා විලාසයත් හේතුවෙන් මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ද දස්කම් දැක්වීමට නොහැකි විය.
තරග තුනේදී දකුණු අප්‍රිකා පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකා පිල ලකුණු 135ක්, 103ක් සහ 120ක් ලෙස සීමා කරමින් කඩුලු 24ක් බිඳ දමද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවා ගත හැකි වූයේ කඩුලු 6ක් පමණි. ඒ පළමු තරගයේදී කඩුලු 5ක් සහ දෙවැනි තරගයේදී කඩුල්ලක් ලෙසිනි. අවසන් තරගයේ එකදු ද.අප්‍රිකා කඩුල්ලක්වත් බිඳ නොවැටිණි.
තරග තුනේදිම ඕවර 4 බැගින් යැවූ වනිඳු හසරංග කඩුලු 3ක් බිඳ දමද්දී නවක ක්‍රීඩක මහේෂ් තීක්ෂණ, දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර කඩුල්ල බැගින් දවා ගත්හ.
නිරෝෂාන් ප්‍රියංකර