දකුණු ආසියා පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු පිල විශේෂ පුහුණු සැසියකට අද සවුදි අරාබිය බලා පිටත් වෙයි. මේ පුහුණු සැසිය කටාර් රාජ්‍යයේ පැවැත්වීමට කලින් තීරණය වී තිබුණ ද එරට සෞඛ්‍ය නීති දැඩි වීම හේතුවෙන් සවුදි අරාබියේ පුහුණුව දීමට තීරණය විය.
කටාර් රාජ්‍යයේ පාපන්දු පුහුණුව ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා සවුදි අරාබි පාපන්දු සංගමය සමඟ සාකච්ඡා කොට මේ අවස්ථාව උදා කර ගෙන ඇත.
කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, රට වසා ඇති හෙයින් පාපන්දු ක්‍රීඩකයන්ට ක්‍රමවත් පුහුණුවක් ශ්‍රී ලංකාවේදී ලැබීමට නොහැකි හෙයින්, දකුණු ආසියා තරගාවලියට පෙර විශේෂ පුහුණුවක් දීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තිබිණි.
ශ්‍රී ලංකා පාපන්දු පිලේ ක්‍රීඩකයන් 27ක් හා පුහුණු කාර්ය මණ්ඩලයේ 11ක පිරිසක් මේ සවුදි අරාබි විශේෂ පුහුණු සැසිය සදහා පිටත් වීමට නියමිත අතර දකුණු ආසියා පාපන්දු තරගාවලිය වෙනුවෙන් රියාද් කිංග් කාලීඩ් අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිට මාලදිවයින දක්වා මේ 26 දා ශ්‍රී ලංකා පාපන්දු පිල ගමන් අරඹනු ඇත.
පුහුණු කාර්ය මණ්ඩලයේ 11ක පිරිසට නවක මුහුණු කිහිපයක්ම ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. බොස්නියානු ජාතික ප්‍රධාන පුහුණුකරු අමීර් ඇලජික් හා ගෝල් කීපර් පුහුණුකරු අමීර් ඩොක්සාන් යන මහත්වරුන්ට අමතරව කොළඹ පාපන්දු සමාජයේ පුහුණුකරු රූමී හසන් මහතා තාක්ෂණික පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පාපන්දු පිලට එක් කර ගෙන ඇත. එමෙන්ම බ්ලූස්ටාර් පිලේ ප්‍රධාන පුහුණුකරු රාජමනී දේවසභායම් මහතා නියෝජ්‍ය පුහුණුකරු ලෙස නම් කොට තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු පිල සමග සංචාරය අරඹන කණ්ඩායමට වෛද්‍ය රුවන් ප්‍රනාන්දු (කණ්ඩායමේ වෛද්‍ය), ආෂිෆ් අන්සාර් (කළමනාකරු), ඉසා ඉබ්‍රහිම් (මාධ්‍ය කළමනාකරු), සංඛ ජයමිණ (දත්ත විශ්ලේෂක), සුරංග ද සොයිසා (භෞත චිකිත්සක), ජීවන කල්දේරා, මහින්ද රෝහාන් (සම්බාහක) හා මොහොමඩ් ෆාහිම් (ඇඳුම් කට්ටල භාර) මහත්වරු ඇතුළත්ව සිටිති.