28.4 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර මහේල ප්‍රතික්ෂේප කරයි

ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර මහේල ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා පිලට උදවු කිරීමට සූදානම්

විස්සයි 20 ලෝක කුසලානය අවසන් වීමෙන් පසු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස සැලකෙන මහේල ජයවර්ධන මහතා ප්‍රතික්ෂේප කරයි.

වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී මහතාගේ නිල කාලය එළැඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු අවසන්වන බැවින් ශාස්ත්‍රි මහතා වෙනුවට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හැකි ලොව හොඳම පුද්ගලයා පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විමසිල්ලෙන් සිටී.

එවැනි තත්ත්වයක් තුළ මේ භූමිකාව මහේල ජයවර්ධන මහතාට පැවරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍ය වුව ද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කළේය. මේ තනතුර වෙනුවෙන් මේ වන විට පැතිර යන තවත් එක් නමක් වන්නේ අනිල් කුම්බ්ලේ මහතාය. කුම්බ්ලේ මහතා මෙයට පෙරත් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති නමුත් නායක විරාත් කෝලි සමඟ ඇති වූ මතභේද හේතුවෙන් ඔහු තනතුරෙන් ඉල්ලා අස් වූ බව සඳහන් වේ.

“ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස අවුරුදු 18ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කළ මට වසරේ මාස 12ක්ම ගමන් මල්ලක් වගේ ජීවත් වීමට අවශ්‍ය නෑ. මේ තනතුර මුල් කාලයේ මට හොඳ අභියෝගයක්. ඒත් පවුල සමඟ නිවෙසේ ජීවත් වීමට මගේ පෞද්ගලික කාලය යොමු කළ යුතුයි. උපදේශකයකු වශයෙන් ශ්‍රී ලංකාවට යම් උදවුවක් කිරීමට ලැබීම ගැනත් මම සතුටු වනවා. එහෙත් ඒකත් පූර්ණ කාලීනව නොවෙයි” මහේල ජයවර්ධන මහතා ස්කයි ස්පෝර්ට්ස් වෙත පැවසු බව ඉන්දීය වාර්තාවල සදහන් වේ.

මහේල ජයවර්ධන මහතා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වීමේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ ඇයි? යන ප්‍රශ්නය විග්‍රහ කරමින් එම වාර්තා දක්වන්නේ මහේල ජයවර්ධනට මහතාට ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඇති අවශ්‍යතාව එක් හේතුවක් බවය. එසේම, තවත් බාධාවක් වි ඇත්තේ මහේල ජයවර්ධන මහතා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරිමය. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල අතර, නීති රීති වල පැහැදිලිව සඳහන් වන්නේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිටියදී වෙනත් කණ්ඩායමක තනතුරක් දැරීමට නොහැකි බවය.

වසර 1997දී ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි මහේල ජයවර්ධන විශිෂ්ටතම පිතිකරුවකු ලෙස දශක දෙකකට ආසන්න කාලයක් දස්කම් දැක්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 149කට සහ එක්දින තරග 448කට ක්‍රීඩා කළේය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණු 11814ක් ලබා ගත් අතර, එක්දින ක්‍රිකට් ආකෘතියේදී ලකුණු 12650ක් රැස් කළේය. පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරග 55 කදී ලකුණු 1493 ක් රැස් කළ මහේල ජයවර්ධන මහතා 2015 මාර්තු 18 දා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් අන්තර්ජාතික එක්දින තරගයට ක්‍රීඩා කළේය.

 

ප්‍රින්ස් ගුණසේකර