ටෙස්ට් 2යි: විස්සයි20 තරග 3යි
ලබන වසරේ පෙබරවාරි, මාර්තු මාසවලදී ශ්‍රී ලංකා පිලට ටෙස්ට් හා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියකට ඉන්දියාව ආරාධනා කරයි.
ඉන්දීය පිලේ ඉදිරි ක්‍රිකට් තරගාවලි සම්බන්ධ නවතම කාලසටහන ඊයේ නිකුත් වූ අතර, එහි සදහන් වන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරග 2ක් හා විස්සයි20 තරග 3ක් පැවැත්වෙන බවය. පෙබරවාරි 25 දා පළමු ටෙස්ට් තරගය බැංගලෝරු චෙන්නස්වාමි ක්‍රීඩාංගණයේ හා දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 5 දා මොහාලී අයිඑස් බින්ද්‍රා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, පළමු විස්සයි20 තරගයද මොහාලීහිදී පැවැත්වේ. දෙවැනි හා තෙවැනි විස්සයි20 තරග දෙක මාර්තු 15 හා 18 දිනවල ධර්මසාලා හිමාචාල් ප්‍රදේශ් අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී හා ලක්නව් ශ්‍රී අතාල් බිහාරී අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සියලු තරග කොරෝනා වසංගතයට එරෙහි සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ජෛව බුබුළු ක්‍රමවේදයට අනුකුලව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාව අවසන් වරට ටෙස්ට් තරගාවලියක් සදහා ඉන්දියාවේ සංචාරය කළේ 2017 වසරේදී වන අතර තරග 3කින් සමන්විත එම තරගාවලිය 1-0ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළේය. කොල්කටාහී පැවැති පළමු ටෙස්ට් තරගය හා දිල්ලි තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ අතර නාග්පූර් හී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉන්දියාව ඉනිමකින් හා ලකුණු 239කින් දැවැන්ත ජයක් වාර්තා කළේය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මෙතෙක් ටෙස්ට් තරග 44ක් පවත්වා ඇති අතර, එයින් ඉන්දියාව තරග 20ක් හා ශ්‍රී ලංකාව තරග 7ක් ජය ගෙන ඇත. ටෙස්ට් තරග 17ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
දෙරට අතර අවසන් වරට ඉන්දියාවේදී විස්සයි20 තරගාවලියක් 2020දී පැවැති අතර එහිදී එක් තරගයක් තීරණයක් නොවූ අතර, අනෙක් තරග දෙකම ඉන්දියාව ජය ගත්තේය. එහෙත් ශ්‍රී ලංකාවේදී මෙයට මාස දෙකකට පෙර පැවැති විස්සයි20 තරග දෙකම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කොට පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළේය. දෙරට අතර විස්සයි20 තරග 19ක් පවත්වා ඇති අතර තරග 13කින් ඉන්දියාව හා තරග 5කින් ශ්‍රී ලංකාව ජය වාර්තා කිරීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉන්දියාවේදී පැවැත්වෙන තරගාවලිය සමග ඉන්දීය පිල කාර්ය බහුල තත්ත්වයකට පත්වේ. එළැඹෙන විස්සයි20 ලෝක කුසලානය අවසන් වීමෙන් පසුව නව විස්සයි20 නායකයකු යටතේ මාස 5ක් තුල ඉන්දියාවේදී පමණක් විස්සයි20 තරග 14කට මුහුණදීමට නියමිතය. මේ වසරේ නොවැම්බර් මාසයේදී නවසීලන්ත පිල ඉන්දියාවට පැමිණෙන අතර එහිදී විස්සයි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක්, ලබන වසරේ පෙබරවාරි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් පිල ඉන්දියාවට පැමිණෙන අතර එහිදී එක්දින තරග 3ක් හා විස්සයි20 තරග දෙකක් පැවැත්වීමට තීරණය වී ඇත.
අනතුරුව පෙබරවාරි, මාර්තු මාසවල ශ්‍රී ලංකා පිලේ සංචාරය නිමා වීමෙන් පසු ජූනි මාසයේදී විස්සයි20 තරග 5ක් සදහා දකුණු අප්‍රිකාව ඉන්දියාවට පැමිණේ. ඉන්දියාව ටෙස්ට් හා එක්දින තරග මෙහෙයවීම සදහා විරාත් කෝලිගේ නායකත්වය පිළිගෙන ඇතත්, නව විස්සයි20 නායකයා තවම ප්‍රකාශ කොට නැත.