ලබන මස මැද භාගයේ සිදු කිරීමට නියමිතව තිබූ පාකිස්තාන ක්‍රිකට් තරග සංචාරය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කරයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් මින් දින කිහිපයකට පෙර නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන තරග සංචාරය අවලංගු කළේ දෙරට අතර, පළමු එක්දින තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙරය.
ඒ සමඟ එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ද අවිනිශ්චිත තත්ත්වයකට පත් වූ අතර, ඔවුන් පෙරේදා (20) නිල වශයෙන් තරගාවලිය අවලංගු කරන බව නිවේදනය කළේය. එංගලන්ත පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම ලබන මස පාකිස්තාන සංචාරයට එක් වීමට නියමිතව තිබිණි. එලෙස එංගලන්ත කණ්ඩායමක් පාකිස්තානයට පැමිණීමට සිටියේ 2005 වසරෙන් පසුවය.
එංගලන්ත පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙක 13 සහ 14 දෙදින විස්සයි20 තරග 2කට එක් වීමට නියමිතව සිටි අතර, පසුව කාන්තා පිල එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමටත් සැලසුම් කර තිබිණි.
ඔක්තෝබර් සංචාරයෙන් කණ්ඩායම් දෙක ඉවත් කර ගැනීමට අකැමැත්තෙන් වුව තීරණය කළ බව පවසන එංගලන්ත ක්‍රිකට් ආයතනය “අපගේ ක්‍රීඩකයන්ගේ සහ සහාය කාර්ය මණ්ඩලයේ මානසික හා ශාරීරික යහපැවැත්ම ඉහළම ප්‍රමුඛතාව වන අතර, අප දැනට ජීවත් වන කාලය තුළ මෙය වඩා තීරණාත්මකයි” යනුවෙන් සඳහන් කර තිබේ.
ප්‍රමුඛත්වය දිය යුතු අයිසීසී ලෝක කුසලාන තරගාවලිය අබියසදී මේ සංචාරය හොඳ සූදානමක් නොවනු ඇතැයි විශ්වාස කරන බවත්, අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව යළි සිය රටට තුළ පැවැත්වීමට දරන උත්සාහයට මේ තීරණය සැලකිය යුතු බලාපොරොත්තු සුන්වීමක් බව වැටහෙන බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසයි. ලබන වසරේ පැවැත්වීමට නියමිත පාකිස්තාන සංචාරය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මේ අතර නවසීලන්ත තරගාවලිය අහිමි වීම නිසා කෙටි තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා හෝ බංග්ලාදේශ කණ්ඩායමක් ගෙන්වා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය උත්සාහ කළ අතර, කණ්ඩායමක් පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්ය බහුලත්වය සහ ක්‍රීඩකයන් විසිරී සිටීම නිසා දෙරට අතර තරගාවලියක් සංවිධාන කිරීමට නොහැකි වී තිබේ.