28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝක මලල ක්‍රීඩකයන් අතර යුපුන් වේගයෙන් ඉදිරියට

ලෝක මලල ක්‍රීඩකයන් අතර යුපුන් වේගයෙන් ඉදිරියට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලැබුණු හොඳම තැන

ලෝක මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ නවතම යාවත්කාලීන කිරීම අනුව ශ්‍රී ලංකා පිරිමි මී. 100 වාර්තාව හිමි යුපුන් අබේකෝන් ලෝකයේ 40 වැනි ස්ථානයට පත් වෙයි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මී. 100 ක්‍රීඩකයකු ලෝක මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ හොඳම ස්ථානයකට පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ලෝක මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලේඛනය අනුව යුපුන් අබේකෝන්ට ඉදිරියෙන් ආසියාවේ ක්‍රීඩකයන් තිදෙනකු සිටින අතර එයින් ක්‍රීඩකයන් දෙදෙනකු ජපානයේ වන අතර අනෙක් ක්‍රීඩකයා චීනයෙනි. මේ හේතුවෙන් එළඹෙන ආසියානු ක්‍රීඩා උලෙළේදී යුපුන් අබේකෝන් පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ඇතිව තිබේ.

මෙයට පෙර ලෝක මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී යුපුන් 45 වැනි ස්ථානයේ සිටි අතර පියවර 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටී. සූරිච්හි පැවති අවසන් ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේදී යූපුන් අබේකෝන් මී. 100 තත්. 10.25කින් නිම කර 9 වන ස්ථානයට පත් වීම හේතුවෙන් මෙලෙස ඉදිරියට පැමිණීමේ අවස්ථාව උදා විය. මේ ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියට ඔලිම්පික් මට්ටමේ හොඳම ක්‍රීඩකයන් සහභාගි වූ අතර, පළමු ස්ථානය අමෙරිකාවේ ෆ්‍රෙඩ් කේලී තත්පර 9.87කින්, දෙවැනි ස්ථානය කැනඩාවේ ඇන්ඩ්‍රි ග්‍රේස් තත්. 9.89කින් හා අමෙරිකාවේ රොනී බ්‍රේක් තත්. 9.91කින් තෙවැනි ස්ථානයට පත් විය.

26 හැවිරිදි යුපුන් ලොව හොඳම මී. 100 ක්‍රීඩකයන් සිය දෙනා අතරට පසුගිය මැයි මස අග භාගයේ පැමිණි අතර, ඉතාලියේ සැවෝනාහි පැවැති තරගයේදී තත්. 10.15ක කාලයක් ගත කිරීමත් සමග 79 වැනි ස්ථානයට පැමිණියේය. පසුගිය ජූනි මස අග වන විට ඔහු ලොව හොඳම මී. 100 ක්‍රීඩකයන් 50 අතරට පැමිණීමට සමත් විය. පසුගිය ජූනි 10 වැනිදා පැවැති ගෝල්ඩන් ගාලා පියෙට්රෝ මෙනියාහි තරගාවලියේදී මී. 100 ඉසව්ව තත්. 10.16කින් නිම කර ඉදිරියට පැමිණීමට යුපුන් සමත් වූවේය. මේ ආකාරයේ ඉහළ දස්කම් දැක්වූ යුපුන් ඉතා වේගයෙන් ලෝක මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට සමත් වීමෙන් ටෝකියෝ ඔලිම්පික් උලෙළට සුදුසුකම් හිමි කර ගත්තේය.