28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගුරු වර්ජනයේ වැඩිම බලපෑම ගම්බද දුප්පත් පාසල් දරුවන්ට

ගුරු වර්ජනයේ වැඩිම බලපෑම ගම්බද දුප්පත් පාසල් දරුවන්ට

රජයේ ක්‍රියාමාර්ග විශ්වාස කර ඔන්ලයින් ඉගැන්වීම් අරඹන්න

ඇමැති අමරවීර ගුරුවරුන්ගෙන් ඉල්ලයි

ගුරු වර්ජනයෙන් වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ ගම්බද දුප්පත් පාසල් දරුවන්ට බැවින් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග විශ්වාස කර ඔන්ලයින් අධ්‍යාපනය ආරම්භ කරන ලෙස පරිසර අමැති මහින්ද අමරවීර මහතා සියලුම ගුරුභවතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

නාගරික, අන්තර්ජාතික හා පෞද්ගලික පාසල් හා උතුරේ පාසල්වල හා මුදල් තිබෙන පවුල්වල දරුවන්ට ඔන්ලයින් (මාර්ගගත ) අධ්‍යාපනය ලැබෙන බවත් ගුරු වර්ජනයෙන් බැට කන්නේ මේ රටේ ගම්බද දුප්පත් පවුල්වල දරුවන් බවත් අමරවීර මහතා පවසයි. ඊයේ (21) පරිසර අමාතයංහයේදී පැවැති මාධය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය.

“උතුරු පළාතේ දරුවන්ට එම පළාතේ ගුරුවරු මෙම වර්ජනයට සහභාගි නොවී ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙනවා. ඒ වගේම අන්තර්ජාතික පාසල්, පෞද්ගලික පාසල් මෙන්ම මුදල් තිබෙන පවුල්වල දරුවන්ටත් මාර්ගගත ක්‍රමයට ඉතා හොඳින් අධ්‍යාපනය ලැබෙන බව අප දන්නවා. නමුත් මෙම වර්ජනයට වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ මේ රටේ ගම්බදව ජීවත් වෙන අහිංසකම හා දුප්පත් පවුල්වල දරුවන්ටයි .ගුරුවරුන්ට රුපියල් 5000ක අමතර දීමනාවක් දීම ගුරු ගැටලුව සම්බන්ධව සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ දෙයක් නොවේ. ගුරු වෘත්තීය සංගම් ඉදිරිපත් කළ ඉල්ලීම් 11න් 10කටම අප නිශ්චිත විසඳුම් දුන්නා. අනික් ඉල්ලීම වැටුප් සම්බන්ධවයි. මේ වෙලාවේ වැටුප් වැඩි කිරීමක් කළ නොහැක්කේ ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්ව නැති නිසායි. ඒ සඳහා ඉදිරි අය-වැයෙන් විසඳුමක් ලැබෙතැයි අප විශ්වාස කරනවා.

රුපියල් 5000 මාසික දීමනාව ලබා දීමට තීරණය කළේ මුදල් අමාත්‍ය තුමායි. එතුමා ඒ තීරණය ගත්තේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ගුරු සංගම් කළ ඉල්ලිම්වලට රජය විශ්වාසය පළ කිරීමේ වැඩ පිළිවෙළක් වශයෙනුයි. නමුත් ගුරු සංගම් රුපියල් 5000ක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ වගේම ඒ අය ඒ සම්බන්ධව ඉල්ලීමක් කර නැහැ. ඒවගේම අප කමිටුව කළ හැකි ඉහළම කටයුතු ගුරු ගැටලුව සම්බන්ධව ඉදිරිපත් කළා. රජය වශයෙන් එම කරුණු සියල්ලම පිළිගෙන තිබෙනවා. නමුත් වැටුප් සම්බන්ධව තීරණය කළ හැක්කේ අය-වැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමෙන් පමණයි.

රජය කිසිවිටෙක ගුරුභවතුන්ගේ ගැටලු නොසලකා හැර හෝ අවතක්සේරුවකට ලක් කර නැහැ. නමුත් මා ගුරුභවතුන්ගෙන් දැනුත් ඉල්ලා සිටින්නේ මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා ඉදිරිපත් වන ලෙසයි.”

බුද්ධිකා ඉඹුලාන