28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරග්බි ආයතනයට චෝදනා රැසක්

රග්බි ආයතනයට චෝදනා රැසක්

විනිසුරු සංගමයට විනය පරීක්ෂණයක්

කොවිඩ් වසංගතය හමුවේ දරුණු පසුබෑමකට ලක් වූ රග්බි ක්‍රීඩාව මේ වන විට රටවල් රැසක යළි ආරම්භ කර තිබුණ ද, දේශීය රග්බි ක්‍රීඩාව යළි පණ ගැන්වීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය මෙතෙක් සමත්වී නැතැයි පාර්ශ්ව ගණනාවකින් චෝදනා එල්ල වී තිබේ. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමඟ රග්බි ආයතනයේ සභාපති ධුරයට පත් වූ හිටපු නියෝජ්‍ය සභාපති රිස්ලි ඉල්යාස් මහතා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට දේශීය රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබූව ද, ඉන් ඵල නෙළා ගැනීමට ඔවුන් අසමත් වී ඇතැයි රග්බි ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව චෝදනා කරති.

එවැනි පසුබිමක මේ වසරේ අගභාගයේ ඩුබායි නුවර පැවැත්වීමට නියමිත ආසියා සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමේ අවස්ථාව ද අවදානම් තත්ත්වයකට ඇද වැටී ඇත. එම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ඉහළ දස්කම් ප්‍රවර්ධන කිරීමේ සංචිතයක් ගොඩ නැගීමේ අරමුණින් නම් කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ දස්කම් ප්‍රවර්ධනය කිරීමේ කමිටුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවට රග්බි ආයතනය ද චෝදනාවක් එල්ල කර තිබේ. එසේ වුවත් වසර දෙකකට ආසන්න කාලයක් ක්‍රීඩාවේ නිරත නොවූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ලැයිස්තුවක් ඉහළ දස්කම් ප්‍රවර්ධනය කිරිමේ සංචිතයට ඇතුළත් කිරීම වෙනුවට මෙරට සත් සාමාජික රග්බි තරගාවලියක් පවත්වා ක්‍රීඩකයන් තෝරා ගැනීම වඩාත් ප්‍රායෝගික බව එම කමිටුවේ අදහස වී තිබීම එම ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරිමට හේතුව බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය. මේ පිළිබඳ අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නියෝජිතයන් සහ ඉහළ දස්කම් ප්‍රවර්ධනය කිරීමේ කමිටුව අතර පැවැති සාකච්ඡා ප්‍රතිඵලයකින් තොරව නිමාවට පත්වී ඇත.

මේ තත්ත්වය මඟ හරවා ගනිමින් දේශීය සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. ලබන මස අගභාගයේදී මේ තරගාවලිය පැවත්වීමට සැලසුම් කර ඇති බවත්, ආසියා සත් සාමාජික රග්බි පිටියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට එම තරගාවලිය කදිම පිටුවහලක් වනු ඇතැයි ද වාර්තා වේ.

රග්බි ආයතනයට නිසි සැලසුමක් නැති බවට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බවත්, තම ආයතනය පසුගිය වසරේ සිට සැලැසුම් රැසක් ඉදිරිපත් කර ඇති බවත් රග්බි ආයතනයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය. රග්බි තරග විනිසුරුවන්ගේ සහ තීරකවරුන්ගේ සංගමය තම ආයතනය යටතේ පවතින බැවින් නිසි අවසරයකින් තොරව එම සංගමයට කිසිදු රග්බි තරගාවලියකට එක්විය නොහැකි බවත් කියා සිටි එම ප්‍රකාශකයා, එම සංගමයේ අවිධිමත් ක්‍රියා කලාපයත්, රග්බි ආයතනයේ අවසරයකින් තොරව පසුගියදා සුහද රග්බි තරගාවලියකට එක්වීමත් හේතුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතුව ඇතැයිද , එම සංගමයට තහනමක් පැනැවීමේ අවදානමක් මතුවී ඇතැයිද රග්බි ආයතනයේ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ හා මාර්ගෝපදේශ ලබා ගනිමින් දේශීය සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධාන කිරීමට පියවර ගැනීම රග්බි ආයතනයේ වගකීම බව ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශ්ව පෙන්වා දෙති. එහෙත් දැඩි අවදානමක් සහිත ක්‍රීඩාවක් ලෙස රග්බි ක්‍රීඩාව නම් කර ඇති බැවින් ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයට අනුව තරගාවලිය පැවැත්වීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවත්, ඒ සඳහා අනුග්‍රාහකත්ව සොයා ගැනීම කොවිඩ් වසංගතයේ අර්බුදය හමුවේ දැඩි අභියෝගයක් වී ඇති බවත් රග්බි ආයතන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මෙරට බොහෝ ක්‍රීඩා සංගම් දැනටමත් දේශීය තරගාවලි ආරම්භ කර ඇති පසුබිමක රග්බි සංගමය ද ඒ සඳහා කඩිනම් පියවර ගැනීමෙන් ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කිරිමේ අවස්ථාව උදා කර ගැනීමට රග්බි ආයතනය කටයුතු කළ යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය ගැනීම ඔවුන් සතු කාර්යයක් බවත් ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. එවැනි තරගාවලියක් පැවැත්වීමෙන් පසු ආසියා තරග බිමට අවශ්‍ය ක්‍රීඩකයන්ගේ සංචිතයක් ගොඩනගාගත හැකි වනු ඇතැයි බොහෝ පාර්ශ්ව විශ්වාසය පළ කරති.

දේශීය ක්‍රීඩාව යළි ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් පසුගිය කාලය තුළ ක්‍රීඩා අමාත්‍යාංශය මෙරට ක්‍රීඩා සංගම් ගණනාවකට දැනුම් දී තිබූ අතර, ඒ අනුව ක්‍රිකට් ආයතනය, පාපන්දු සම්මේලන ඇතුළු සංගම් රැසක් එම කටයුතු ආරම්භ කරමින් දේශීය ක්‍රීඩාව සක්‍රීය කිරීමට දායකත්වය දී තිබිණි.

රග්බි ක්‍රීඩාව ද වසර දෙකකට ආසන්න කාලයක් පුරා වසංගතයට හසුවීමෙන් රග්බි ක්‍රීඩකයන් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අවස්ථාවක ක්‍රීඩාව යළි ආරම්භ කිරීමට රග්බි ආයතනය උත්සාහයක නිරතවූ බව පසුගිය කාලයේදී වාර්තා විය. එහෙත් අන්තර්ජාතික රග්බි පිටියට යෑමට පෙර මෙරට සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීමේ වැදගත්කම හේතුවෙන් රග්බි ආයතනය විසින් අවස්ථා කිහිපයකදීම දේශීය තරගාවලියක් පැවැත්වීමට උත්සාහ කරනු ලැබුවද, අනුග්‍රාහකයන් සමඟ ඇති වූ විවිධ මත ගැටුම් සහ සංවිධාන කටයුතු සම්බන්ධව පැන නැගුණු ගැටලු හේතුවෙන් ඒ අවස්ථා මඟහැරී ගිය බව රග්බි ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ෆවුස් මොහොමඩ්