හැමිල්ටන්-ඩිලෝන් ද්විත්ව පුරවැසියෝ එංගලන්තයේ සිට එති
දකුණු ආසියා පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු පිල දින 14ක පමණ විශේෂ පුහුණුවකින් අනතුරුව අද සවුදි අරාබියේ සිට මාලදිවයින වෙත පැමිණෙයි. කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන රට වසා ඇති හෙයින් පාපන්දු ක්‍රීඩකයන්ට ක්‍රමවත් පුහුණුවක් දීමේ අදහසින් කටාර්හිදී පුහුණුවක් දීමට සියල්ල සූදානම් කොට තිබුණද එරට කොරෝනා නීතිය දැඩි හෙයින් සවුදි අරාබිය වෙත කණ්ඩායම යොමු කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා කටයුතු කළේය.
දකුණු ආසියා පාපන්දු තරගාවලියට ඉතා කෙටි කාලයක් තිබියදී හැකි උපරිම ප්‍රතිඵල අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පාපන්දු පිලට හැකි සියලු පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ‘දිනමිණට’ පැවැසීය. සවුදි අරාබියේදී ශ්‍රී ලංකා පිල ජුබ්බා පාපන්දු සමාජය සමඟ තරගයකට එක් වූ අතර, එහිදී ගෝල් 6-0ක ජයක් ශ්‍රී ලංකා පිල ලබා ගත්තේය. එහිදී ජර්මනියේ සිට ශ්‍රී ලංකා පිලට එක් වූ වසීම් රාසීක් ගෝල් 2ක් වාර්තා කළ අතර කවිදු ඉෂාන්, මොහොමඩ් අකීබ්, එඩිසන් ෆිගියුරාඩා හා රිෆ්කාන් මොහොමඩ් ගෝලය බැගින් වාර්තා කළහ.
ශ්‍රී ලංකා පාපන්දු පිලේ ක්‍රීඩකයන් 27ක් හා පුහුණු කාර්ය මණ්ඩලයේ 11ක පිරිසක් සවුදි අරාබියේ විශේෂ පුහුණු සැසිය නිමා කොට ඊයේ මාලදිවයින බලා ගමන් ආරම්භ කළේය. මේ අතර එංගලන්තයේ සිට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට එක් වන 32 හැවිරිදි හැමිල්ටන් මර්වින් හා 19 හැවිරිදි ඩිලෝන් සෙනන් ද සිල්වා යන ක්‍රීඩකයන් දෙදෙනා හෙට මාලදිවයිනට පැමිණ ශ්‍රී ලංකා පිල සමඟ එක් වීමට නියමිතය. ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති මේ ක්‍රීඩකයන් දෙදෙනා දැනට එංගලන්තයේ පාපන්දු ක්‍රීඩා සමාජ දෙකකට ක්‍රීඩා කරති.
හැමිල්ටන් මර්වින්ගේ මව ශ්‍රී ලංකාවේ උපත ලබා සිටි අතර, හැමිල්ටන් එංගලන්තයේදී උපත ලැබීය. එහෙත් මෙයට වසර දෙකකට පෙර ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ප්‍රථම වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කැඳවනු ලැබූ අතර 2019 වසරේදී ෆීෆා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කළේය. හැමිල්ටන් එංගලන්තයට අමතරව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඩිංග්ලි ස්ටාර්ස් හා බ්‍රිස්බේන් ප්‍රිමියර් ලීගයේ ඇල්බේනි ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කළ ආරක්ෂක කළාපයේ ක්‍රීඩකයෙකි.
ඩිලෝන් සෙනන් ද සිල්වා මැද පෙළ ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා පිලට එක්වන අතර 2017 සිට එංගලන්තයේ ටොටින්හැම් ප්‍රාන්තයේ දෙවැනි පෙළ කණ්ඩායමක් වෙනුවෙන් 23න් පහළ තරගාවලියකට ක්‍රීඩා කළේය. ඔහු දැනට ක්වින්ස් පාක් රේන්ජර්ස් පිලට ක්‍රීඩා කරන අතර මේ වසරේ මැයි මාසයේදී කොරියාවේ පැවති ලෙබනන් පිලට එරෙහි තරගයේදී මුල්වරට ශ්‍රී ලංකා පිල නියෝජනය කළේය.
සාෆ් තරගාවලියට එක් වන ශ්‍රී ලංකා පාපන්දු පිලේ පුහුණු කාර්ය මණ්ඩලයේ පිරිසට නවක මුහුණු කිහිපයක්ම ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. බොස්නියානු ජාතික ප්‍රධාන පුහුණුකරු අමීර් ඇලජික් හා ගෝල් කීපර් පුහුණුකරු අමීර් ඩොක්සාන් යන මහත්වරුන්ට අමතරව කොළඹ පාපන්දු සමාජයේ පුහුණුකරු රූමී හසන් මහතා තාක්ෂණික පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පාපන්දු පිලට එක් කර ගෙන ඇත. එමෙන්ම බ්ලූස්ටාර් පිලේ ප්‍රධාන පුහුණුකරු රාජමනී දේවසභායම් මහතා නියෝජ්‍ය පුහුණුකරු ලෙස නම් කොට තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු පිල සමඟ සංචාරය අරඹන කණ්ඩායමට වෛද්‍ය රුවන් ප්‍රනාන්දු (කණ්ඩායමේ වෛද්‍ය), ආෂිෆ් අන්සාර් (කළමනාකරු), ඉසා ඉබ්‍රහිම් (මාධ්‍ය කළමනාකරු), සංඛ ජයමිණ (දත්ත විශ්ලේෂක), සුරංග ද සොයිසා (භෞත චිකිත්සක), ජීවන කල්දේරා, මහින්ද රෝහාන් (සම්බාහක) හා මොහොමඩ් ෆාහිම් (ඇඳුම් කට්ටල භාර) මහත්වරු ද ඇතුළත්ව සිටිති.
ප්‍රින්ස් ගුණසේකර