28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙවර අයවැයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක්

මෙවර අයවැයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක්

ඇමැති නාමල් රාජපක්ෂ

මෙවර අය වැයෙන් ග්‍රාම නිලධාරී වසම්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම වසම්, කොට්ඨාස සහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ජීවනෝපාය සංවර්ධනයට 40%ක්, පොදු යටිතල පහසුකම් සංවර්ධනයට 40%ක්, පරිසර හා තිරසර සංවර්ධනයට 10%ක්, සමාජ සුබසාධන හා සමාජ සංවර්ධනයට 10%ක් ලෙසින් මෙවර අය වැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇති බව තරුණ කටයුතු හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ ඇමැති, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“මෙවර අය වැයෙන් වෙන් වන මුදල් ප්‍රතිපාදන යන්ත්‍ර සූත්‍ර, උපකරණ බෙදා දීම සඳහා වැය නොකර පුළුල් ලෙස අධ්‍යයනය කර සකස් කරන ලද ජීවනෝපාය ව්‍යාපෘති යෝජනා සඳහා දීමට කටයුතු කරන ලෙස ග්‍රාමීය නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ 2022 වර්ෂයේ අය වැය සම්පාදනය කිරීමට ග්‍රාමීය මට්ටමේ සංවර්ධන යෝජනා ගැනීමට මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, මාතර, දෙවිනුවර, හක්මන ඡන්ද බල ප්‍රදේශ ආවරණය වන පරිදි පැවැත් වූ සාකච්ඡාවලදීය.

2022 සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී සංවර්ධනයේ ප්‍රතිලාභ කඩිනමින් මහජනතාවට දීම උදෙසා ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා. වත්මන් රජය විසින් මෙවර ඉදිරිපත් කරන අය වැය යෝජනාවලිය වඩාත් සුවිශේෂී වන්නේ ග්‍රාමීය මට්ටමින් සිදු කළ යුතු සංවර්ධන යෝජනා සඳහා ප්‍රමුඛත්වය දී රටේ නව ව්‍යවසායකයන් බිහි කිරීමට වැඩි මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමයි.

ඒ අනුව ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවා ජාතික ආර්ථිකයට ශක්තියක් දීමට දේශීය ව්‍යවසායකයන් බිහි කර නිෂ්පාදන ආර්ථිකයක් හරහා රට ස්වයංපෝෂිත කිරීමේ බලාපොරොත්තුව ඇතිව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නව රජයේ 2022 වර්ෂයට අදාළ අය වැය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොරෝනා වසංගතයත් සමඟ අඩාලව ඇති ග්‍රාමීය සංවර්ධනය නැවත නඟාසිටුවීමට පළාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයන්ට තමන්ගේ කොට්ඨාසයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලක්ෂ 40ක් දීමට කටයුතු කර තිබෙනවා. මීට අමතරව දිවයින පුරා ග්‍රාම සේවා වසම් සියල්ලටම ලක්ෂ 30 බැගින් ප්‍රතිපාදන හිමි වෙනවා. එම ප්‍රතිපාදන ගමේ පොදු කටයුතු සංවර්ධනය හා ව්‍යාවසායකයන් නඟාසිටුවීමට ප්‍රමුඛත්වය ලැබෙන ලෙස යෝජනා ඉරිදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයකුට තමන්ගේ මැතිවරණ බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 1000ක් ද, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උප සභාපතිවරයකුට රුපියල් ලක්ෂ 200ක් ද වෙන් වෙනවා. ඒ අනුව කොවිඩ් වසංගතයෙන් පැන නැඟුණු කෙටි කාලීන අභියෝග සඳහා විසඳුම් සෙවීම මෙන්ම ආර්ථික වර්ධනයට ප්‍රාදේශීයව පවතින බාධාවලට විසඳුම් දීමට මෙමඟින් අපේක්ෂා කරනවා.

දැඩි මූල්‍ය විනයක් සහිත ක්‍රමවත් ආර්ථික කළමනාකරණයකින් සියලු අභියෝග ජය ගැනීම ඒකායන අධිෂ්ඨානය කර ගනිමින් සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රතිපාදන වෙන් කර ඒවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය බලාපොරොත්තු වෙනවා.”

කථානායක මහින්ද යාපා අබේවර්ධන, ඇමැති ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය ඇමැතිවරුන් වන ඩී. වී. චානක, කංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයෝ මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

නුවන් කොඩිකාර