තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීමෙන් පසු එරට උද්ගත වී ඇති ව්‍යාකුලත්වය අතිශය භයානක බව පෙනේ. දශක දෙකක් පුරා අමෙරිකාව ඇතුළු නේටෝ සංවිධානයේ මිත්‍ර හමුදා ඒකාබද්ධව ඇෆ්ගනිස්තානයේ සිදු කළ හමුදා ක්‍රියාන්විතය අසාර්ථක වීමටත්, ඩොලර් ට්‍රිලියන ගණන් වැය කරමින් කළ අසාර්ථක යුද්ධයෙන් පසු නේටෝ හමුදාව හිස් අතින් ආපසු සිය රටවල් බලා යෑමට සිදුවීමත් අන්තර්ජාතික යුද විශ්ලේෂකයන්ට අනුව පාකිස්තානයේ දෙබිඩි පිළිවෙත නිසා ලද ප්‍රතිළඵලයකි. පාකිස්තානය තලේබාන් සංවිධානයේ තෝතැන්නක් බවට වසර ගණනාවක් පුරා බටහිර රටවල් විසින් නඟන ලද චෝදනාව මුළුමනින්ම පදනම් විරහිත බවට කිසිවකුට තර්ක කිරීමට නොහැකි හේතුව ද එය වේ.
යුද්ධය ආරම්භයේදී තලේබාන් සංවිධානයට එරෙහිව කටයුතු කළ බටහිර රටවලට පාකිස්තානය ද සහාය පළ කළ බව ප්‍රකට කරුණකි. අල් කයිඩා ත්‍රස්තවාදීන්ට හැම අතින්ම සහාය දීම නිසා බටහිර රටවල උදහසට ලක්වී සිටි එවකට ඇෆ්ගනිස්තානය පාලනය කළ තලේබාන් සංවිධානයට එරෙහිව යුද වැදීමට පාකිස්තානය ද එක්වීම ආසියා කලාපයෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමේ ප්‍රබල සාධකයක් බවට ද පත්වී තිබිණි. එසේ වුවත් පසුකාලීනව නේටෝ හමුදාව විසින් පලවා හරිනු ලැබූ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් පාකිස්තානයේ ඇෆ්ගනිස්තාන දේශ සීමා අසල කඳවුරු බැඳගන්නා විට පාකිස්තාන රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් අමෙරිකාව ඇතුළු මිත්‍ර රටවල් සැබෑ තත්ත්වය අවබෝධ කරගත් බව ඇෆ්ගනිස්තානයේ යුද විශ්ලේෂකයෝ පවසති.
ත්‍රස්තවාදයට උඩගෙඩි දීම පාකිස්තානයේ ප්‍රතිපත්තිය නොවූවද, සැබැවින්ම එරට දේශපාලන පසුබිම සමබර කිරීමේ වැදගත් කාර්ය භාරයක් ඉටු කළ පාකිස්තාන තලේබාන් සංවිධානය ඇතුළු තවත් අන්තවාදී සංවිධාන රැසක් මේ සිදුවීම පසුපස සිටි බවට ද කරුණු අනාවරණය වී තිබිණි. පසුකාලීනව ඉම්රාන් ඛාන් අගමැති පදවියට පත්වීමේදී එරට දේශපාලන පොර පිටියේ නායකයන් බිහි කිරීමේ ආධිපත්‍යය අත දරා සිටි අන්තවාදී සංවිධාන රැසක් ඉම්රාන් ඛාන්ගේ රජයට අභියෝග කරමින් තලේබාන් සංවිධානය සමඟ අත්වැල් බැඳ ගත් බව ද ප්‍රකට කරුණකි.
පාකිස්තානයේ ආර්ථිකය නඟා සිටුවමින් එරට ජන ජීවිතය ස්වයම්පෝෂිත කිරීමට වැඩි අවධානයක් යොමු කළ ද, අසල්වැසි ඇෆ්ගනිස්තානයේ බලය යළි අත්පත් කරගැනීමට කුරුමානම් අල්ලමින් සිටි තලේබාන් සංවිධානයට එරට රැකවරණය ලැබීමේ පසුබිම අවහිර කිරීමට ඉම්රාන් ඛාන් ද අසමත් විය. අනෙක් අතට එරට රජයට එරෙහි ඇතැම් අන්තවාදී සංවිධාන පාලනය කිරීමේ අරමුණින් පාකිස්තාන රජයේ බුද්ධි අංශ හා හමුදාව වෙනත් අන්තවාදී සංවිධාන ඉත්තන් බවට පත් කර ගත් බැවින් තලේබාන් සංවිධානයට එරට රැකවරණය ලැබීම අවහිර කිරීමට කිසිදු අයුරකින් පාකිස්තාන රජයට හැකියාවක් නොලැබිණි. ඊට එරෙහිව කටයුතු කිරීමේදී එරට දේශපාලන භූමිකාව ව්‍යාකුල කිරීමට ඇතැම් නගරවල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සහ කාර් බෝම්බ පිපිරීමේ සිදුවීම් හේතුවෙන් පාකිස්තාන රජය ද අසරණ වූ අවස්ථා එමටය.
අමෙරිකන් හමුදාව ඇතුළු නේටෝ මිත්‍ර හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙමින් සිටි අවස්ථාවේදී පවා පාකිස්තානය තුළ දක්නට ලැබුණේ එවැනි තත්ත්වයකි. සංවර්ධන ව්‍යාපෘති අඩපණ කිරීමටත්, චීන ආයෝජන සමාගම් පාකිස්තානයේ සිදු කරමින් සිටි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අඩාල කිරීමටත් අන්තවාදී සංවිධාන රැසක් අවස්ථා ගණනාවකදී ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කළේය.
එහි ආසන්නතම සිදුවීම වූයේ පසුගිය අගෝස්තුවේ උතුරු පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේදී චීන ඉංජිනේරුවන් ඉලක්ක කරමින් පුපුරා ගිය කාර් බෝම්බයයි. තම අභිමතය පරිදි කටයුතු නොකරන්නේ නම් රට තුළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට විදේශිකයන්ට ඉඩ නොදෙන බවට රජයට කළ අනතුරු ඇඟවීමක් ලෙසත් එය සැලකිය හැකිය. චීන ඉංජිනේරුවන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකට හැප්පීමෙන් පුපුරා ගිය මෝටර් රථය තුළ තිබුණේ කිලෝග්‍රැම් සියයකට වැඩි පුපුරණ ද්‍රව්‍යය තොගයකි. මේ පිපිරීමෙන් මිය ගිය පුද්ගලයන් ගණන 13ක් වූ අතර, චීන ජාතිකයන් 9 දෙනකුට ජීවිත අහිමි විය. තවත් පුද්ගලයන් දුසිම් ගණනාවක් බරපතළ තුවාල ලැබූ බව වාර්තා විය. එය ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක වෙමින් සිටි පාකිස්තාන තලේබාන් සාමාජිකයන්ට එරටින් ඉවත්වීමට කළ අනතුරු ඇඟවීමක් බව ප්‍රහාරයෙන් පසු මාධ්‍ය හමුවක් අමතමින් එරට විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළ අතර, එය එවකට පැවැති ඇෆ්ගනිස්තාන රජය සහ ඉන්දියා රජය එක්ව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයි කියමින් බරපතළ චෝදනාවක් ද එල්ල කළ බව සීඑන්එන් සහ රොයිටර් පුවත් සේවා වාර්තා කර තිබිණි.
සංවර්ධන කටයුතු සඳහා පාකිස්තානයට පැමිණ සිටි චීන ජාතිකයන් ඉලක්ක කරමින් එල්ල වූ පළමු හා අවසන් ප්‍රහාරය එය නොවු අතර, අවස්ථා ගණනාවකදී චීන ජාතිකයන්ට මෙවැනි තර්ජන එල්ල වී තිබිණි. එම ප්‍රහාර මාලාව ඇෆ්ගනිස්තානය තුළ පාකිස්තානුවන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිචාර දැක්වීමක් පමණක් නොව පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන ජනතාව චිනයේ ගෝලීය ආර්ථික ව්‍යාපෘතිය පිළි නොගන්නා බවට දුන් ප්‍රබල පණිවිඩයක් ද විය හැකි බවට දේශපාලන විශ්ලේෂකයන් විසින් අනාවැකි පළ කරනු ලැබුවේ එවැනි පසුබිමකදීය. එමෙන්ම පාකිස්තානුවන් සහ ඇෆ්ගනිස්තානුවන් විසින් චීනයේ ගෝලීය සංවර්ධන ව්‍යාපෘතිය සලකනු ලැබුවේ සිය රටෙහි ආර්ථිකය තුළ සිදු කරන චීන ආක්‍රමණයක් ලෙසින් බවත් වැඩි දුරටත් වාර්තා වී තිබිණි.
චීනයේ ගෝලීය ආර්ථක ව්‍යාපෘතියට අදාළව පාකිස්තානය තුළ සිදු කරන සංවර්ධන කටයුතු කෙරෙහි ඇතැම් පාර්ශ්ව අසුබවාදී ආකල්ප ගොඩනඟා ගත් අතර, පාකිස්තානය තම සමීපතම මිතුරකු බවට චීනය පුරසාරම් දොඩවන බවටත් චෝදනා කළ බව වාර්තා විය. අනෙක් අතට චීනයේ ෂින්ෂියැං ප්‍රාන්තයේ උයිගර් පළාතේ සිදු කරන බව කියන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් බටහිර රටවල දැඩි විවේචනයට ලක්වූවත්, පාකිස්තානය එය චීනයේ අභ්‍යන්තර ගැටලුවක් බව කියමින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට ද චෝදනා එල්ල විය. මෑත කාලයේ පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ සහ කරාච්චි නුවර ද චීන ජාතිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල වූයේ ඊට ප්‍රතිචාර වශයෙන් බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අවසන් වරට චීන ජාතිකයන් ඉලක්ක කරමින් බලුකිස්තානයේ එවැනි ප්‍රහාරයක් එල්ල වූ අතර, එම මරාගෙන මැරෙන බෝම්බය සඳහා කුඩා දරුවකු සම්බන්ධ කරගත් බවටත් වාර්තා පළ විය.
විශ්වාසය මත පදනම් වූ මිත්‍රත්වයකින් පාකිස්තානය සහ චීනය කටයුතු කරන බවට වාර්තා වූවද, පාකිස්තාන ජනතාව තුළ ඇත්තේ වෙනත් චිත්‍රයක් බව එවැනි ප්‍රහාරවලින් තහවුරු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. පසුගිය මාස කිහිපය ඇතුළත පිට පිට අවස්ථා ගණනාවකදී චීන ජාතිකයන් ඉලක්ක කරමින් මෙවැනි ප්‍රහාරමාලාවක්ම සිදු වූ අතර, අවසන් ප්‍රහාරය සිදු වූයේ චීන ව්‍යාපෘතියක් වන ග්වාඩර් වරාය ආසන්නයේදීය. තවත් අවස්ථාවකදී කරාච්චි නුවර චීන ජාතිකයන් ඉලක්ක කරමින් විවෘත වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණි.
සැලකිය යුතු කරුණ නම් චීන ඉංජිනේරුවන් සහ සෙසු කම්කරුවන් ඉලක්ක කරමින් මෙවැනි ප්‍රහාර සිදුවන්නේ චීනයේ ගෝලීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරෙමින් පවතින ප්‍රදේශවල වීමය. චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව කරාච්චි නුවර දක්වා විහිදී යන අතර, ග්වාඩර් වරායේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ ද චීන ව්‍යාපෘතියක් ලෙසිනි. උතුරු පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේදී චීන ඉංජිනේරුවන් ඉලක්ක කරමින් කාර් බෝම්බය පුපුරා ගියේ ඩොලර් බිලියන 65ක ආයෝජන ව්‍යාපෘතියක් වන ඩසු ජල විදුලි බලාගාරය ආසන්නයේය. මේ ප්‍රහාරයට චෝදනා එල්ල වූයේ පාකිස්තාන තලේබාන් සංවිධානයටය. ප්‍රහාරයෙන් පසු පාකිස්තාන බුද්ධි අංශ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ෆායිස් හමීඩ් කියා සිටියේ ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානය සහ පාකිස්තාන තලේබාන් සංවිධානය එකම කාසියක දෙපැත්ත බවය. ඉස්ලාමීය හමුදා කණ්ඩායම්වලට ඇෆ්ගනිස්තානය තෝතැන්නක් කරගැනීමට ඉඩ නොතබන බව පසුගිය ජූලි මාසයේ චීන සංචාරය අතරතුරදී ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානයේ නායක මුල්ලා අබ්දුල් ගානි චීන විදේශ ඇමැති වැං යීට පොරොන්දු වූයේ ඊට පිළිතුරු වශයෙනි. කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ කාර් බෝම්බය පුපුරා යද්දී පාකිස්තාන තලේබාන් සංවිධානය හැරුණු විට අල්කයිඩා මෙන්ම අයිඑස් ත්‍රස්තවාදී සංවිධාන ද එම ප්‍රාන්තයේ ක්‍රියාත්මක වෙමින් සිටි බවටත් වාර්තා පළ විය.
චීනය මේ වන විට ඇෆ්ගනිස්තානයේ පාලකයන් වන තලේබාන් සංවිධානය සමඟ රාජතාන්ත්‍රික සබඳතා ගොඩ නඟා ගෙන ඇතැයි වාර්තා වේ. අන්තවාදී අදහස් ඇති තලේබාන් සංවිධානය අපැහැදිලි ආගමික ප්‍රතිපත්ති වෙනස් කරනතුරු අන්තර්ජාතික අරමුදල් ඇෆ්ගනිස්තානයට නොලැබෙන බව බටහිර රටවල් පුන පුනා පැවැසුවද, චීනය ඇෆ්ගනිස්තානයට මූල්‍යාධාර සැපයීමට තීරණය කිරීම බොහෝ රටවල විමතියට කරුණක් විය. එපමණක් නොව ඇෆ්ගනිස්තානයේ ආයෝජන කටයුතු සිදු කරමින් විවිධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් චීනය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව දැනටමත් ඔවුන් ඇෆ්ගනිස්තානයේ තඹ ආකරයකට දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇති බවත්, මේ දුර්ලභ ආකරය තුළ තඹ ටොන් මිලියන 60ක්, යකඩ වැනි අශුද්ධ ලෝහ සහිත පස් ටොන් මිලියන 1.4ක් තිබිය හැකි බවටත්, ඊට අමතරව රන්, ඇලුමේනියම්, රිදී, රසදිය හා ලිතියම් ද සැලකිය යුතු ප්‍රමාණයක් තිබිය හැකි බවටත් එක්තරා පර්යේෂණ පදනමක් විසින් සිදු කරනු ලැබූ අධ්‍යයනයකින් පසුව අනුමාන කර තිබේ. එහි පිහිටීම අනුව ඇෆ්ගනිස්තානය යනු චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝවේ වැදගත් ස්ථානයක් වනු ඇතැයි ද පැවැසේ. චීනය තලේබාන් සංවිධානය වෙත මිත්‍රත්වයේ දෑත් දිගු කිරීමේ අරමුණ සිය ගෝලීය ආර්ථික ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් කිරිමේ උපාය මාර්ගයක් වනු ඇතැයි බටහිර රටවල් අනුමාන කරනු ලබන්නේ මෙවැනි හේතු මතය. එහෙත් පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන ජනතාව චීනය අරභයා පළ කරන විරෝධතා හමුවේ එය එතරම් පහසු නොවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.