රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332ක පාසල් හැර යන දරුවන් කෙළින්ම ක්‍රීඩා පිටියට ගැනීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරයි. මෙයට මාස කිහිපයකට පෙර මෙම වැඩපිළිවෙළේ මූලික වැඩ කටයුතු අදියර කිහිපයක් ඔස්සේ ආරම්භ වී ඇති අතර, කොරෝනා අර්බුදය හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කිරීමේ කටයුතු පමණක් ඉතිරිව ඇත. මේ සිව් වසරක ඉලක්ක සහිත දීපව්‍යාප්ත වැඩසටහන සදහා ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය මුදල් දැනටමත් වෙන්කොට ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා ‘දිනමිණට’ පැවැසීය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ තිලක් අල්පොන්සු මහතා මේ දැවැන්ත ව්‍යාපෘතිය භාරව සිටින අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආරම්භ වන ක්‍රීඩා සංචිතවලට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ මිල දී ගැනීම සදහා පමණක් ක්‍රීඩා ඇමැතිවරයා රුපියල් මිලියන 15ක මුදලක් ලබාදී ඇත. පාසල් හැර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කොට ක්‍රීඩා පුහුණුව දෙන අතරතුරදී ජාතික තරුණ සේවා සභාව හරහා ස්වයං රැකියාවක් ආරම්භ කිරීමේ අවස්ථා උදා කොට ඔවුන්ට ආදායම් මාර්ගයක් සැකසීමේ වෙනම වැඩපිළිවෙළක් ද ව්‍යාපෘතියට සමගාමීව සැලසුම් කොට ඇත. මෙමගින් ආර්ථීක ප්‍රශ්නවලින් තොරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පූර්ණ අවධානය ක්‍රීඩාව වෙත යොමු කර ගැනීමේ උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වඩාත් ජනප්‍රිය හා එම කොට්ඨාසයට අවේණික එක් ක්‍රීඩාවක් තෝරා ගැනීමේ අවස්ථාව අදාළ කොට්ඨාසයේ ක්‍රීඩා නිලධාරියා ප්‍රමුඛ බලධාරීන්ට පැවරෙන අතර, එම ක්‍රීඩාව යටතේ කාන්තා පිරිමි සංචිත දෙකක් පිහිටුවේ. මේ ක්‍රීඩා තෝරා ගැනීමේදී එල්ලේ හා ක්‍රිකට් ක්‍රීඩා දෙක තෝරා නොගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිටින ක්‍රීඩා නිලධාරීන්ට උපදෙස් දී ඇත. එයට හේතුව වී ඇත්තේ එම ක්‍රීඩා දෙක දැනටමත් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම බහුලව ක්‍රියාත්මක වන බැවිනි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරා ගන්නා ක්‍රීඩාවට අදාළ ඉහළම සුදුසුකම් ඇති පුහුණුකරුවකු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක හා දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන් එක්ව දැනටමත් තෝරාගෙන ඇති අතර, ඔවුන් යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංචිතය ආරම්භ වේ. මේ ජාතික සංචිත පිහිටුවා වසරක කාලයක අඛණ්ඩ පුහුණුවෙන් පසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා තෝරාගත් ක්‍රීඩාවලට වෙන වෙනම තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරගාවලියෙන් බිහි වන දක්ෂතම ක්‍රීඩකයන් තෝරා දිස්ත්‍රික් තරගාවලියක් පැවැත්වෙන අතර, එහිදී කැපීපෙනෙන ක්‍රීඩකයන් තෝරා පළාත් මට්ටමේ සංචිතයක් ආරම්භ කෙරේ. අවසානයේ පළාත් අතර තරගාවලියකින් බිහි වන දක්ෂයන් ජාතික සංචිතවලට හඳුන්වා දීම වැඩපිළිවෙළේ ඉලක්කය වේ.
කොරෝනා අර්බුදය යම් මට්ටමකට පාලනය වූ වහා වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අප්ක්ෂා කරන බවත් පාසල් හැරගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතවලට සම්බන්ධ කිරීමේ කටයුතු පමණක් ඉතිරිව ඇති බවත් සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ තිලක් අල්පොන්සු මහතා පැවසීය.