27.8 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදකුණු ආසියා පාපන්දු මංගල්‍යය හෙට ඇරැඹෙයි

දකුණු ආසියා පාපන්දු මංගල්‍යය හෙට ඇරැඹෙයි

දකුණු ආසියාවේ රටවල් 5ක් සහභාගී වන කලාපයේ ප්‍රධානතම පාපන්දු ශූරතාවලිය දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය මාලදිවයිනේ ජාතික ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්.1) ආරම්භ වෙයි. මේ තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 50000 ක ( රුපියල් කෝටියක්) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට දකුණු ආසියා පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය හා බංග්ලාදේශය සහභාගීවන මෙවර තරගාවලියේ අවසන් තරගය මේ මස 16 වැනිදා පැවැත්වේ.

ඉන්දියානු සාගරයේ දූපත් රාශියකින් සැදුණු කුඩා රාජ්‍යයක් වන මාලදිවයිනේ පාපන්දු ක්‍රීඩාව අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති හෙයින් මෙවර දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය කෙරෙහි විශාල අවධානයක් යොමුව ඇත. ශ්‍රී ලංකාවේ හිටපු සුපිරිතම පාපන්දු තරුවක් වූ සිරිසේන මාස්ටර් වැනි විශේෂඥයන්ගේ ගුරුහරුකම් මැද 1980 පමණ කාලයේ මාලදිවයිනේ පාපන්දු ක්‍රීඩාව ආරම්භ වූ අතර, පසුව වසර 2008 වෙද්දී දකුණු ආසියානු පාපන්දු ශූරතාව දිනා ගත්තේය. අනතුරුව අවසන් වරට බංග්ලාදේශයේ පැවැති දකුණු ආසියා පාපන්දු ශූරතාව ගෝල් 2-1කින් පරදා මාලදිවයින දිනා ගත්තේය.

වසර 2කට වරක් පැවැත්වෙන මේ පාපන්දු ශූරතාවලිය පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අත්හැර දැමිණි. පසුව මේ වසරේ දකුණු ආසියා පාපන්දු සත්කාරකත්වය නේපාලය ඉල්ලා සිටියද වඩාත් සෞඛ්‍යාරක්ෂිත පසුබිමක් යටතේ ශූරතාවලිය පැවැත්වීමේ සුදුසුකම සලකා බලා මාලදිවයින තෝරා ගැනීමට දකුණු ආසියා පාපන්දු සම්මේලනය පියවර ගත්තේය.

හෙට දිනයේ පළමු තරගය පස්වරු 4.00ට සත්කාරක මාලදිවයින හා නේපාලය අතර පැවැත්වීමට නියමිතව තිබුණද එය රාත්‍රී 9.00ට විදුලි ආලෝක ධාරා මැද පැවැත්වීමට මාලදිවයින පාපන්දු සම්මේලනය විසින් දකුණු ආසියා පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා තිබිණි. එම වේලාවට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය පැවැත්වීමට නියමිතව තිබුණද අද පැවැත්වෙන තරගාවලියේ තාක්ෂණික කමිටු රුස්වීමකදී තරග කාලසටහන පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතව ඇත. මාලදිවයිනේ ඉල්ලීම පරිදි පළමු දිනයේ තරග කාලසටහන එසේ සුළු වෙනස්වීමකට භාජනය වුවහොත් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය හෙට පස්වරු 4.00ට ආරම්භ වීමට නියමිත වේ.

ශ්‍රී ලංකාව 1995 වසරේ දකුණු ආසියා පාපන්දු ශූරතාව දිනාගත් අතර, ඉන්දියාව හත් වතාවක් ශූරතාව රැගෙන ගියේය. මාලදිවයින දෙවතාවක්, බංග්ලාදේශය එක් වතාවක් ශූරතාව දිනාගත් අතර, නේපාලය තවමත් දකුණු ආසියා පාපන්දු ශූරතාවක් දිනා නැත. වෙනදා මේ ශූරතාවලියට එක්වන පාකිස්තානය හා භූතානය කොරෝනා අර්බුද හේතුවෙන් මාලදිවයිනට පැමිණියේ නැත.