31.7 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලාඩ්ගෙන් වාර්තාවක්

පොලාඩ්ගෙන් වාර්තාවක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වෙයි. ඒ විස්සයි20 ක්‍රිකට් තරග බිමේ ලකුණු 10,000ක් රැස් කරමින් සහ කඩුලු 300ක් බිඳ දැමූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

මේ දිනවල පැවැත්වෙන අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන පොලාඩ්, පංජාබ් කිංග්ස් පිල සමඟ පෙරේදා පැවැති තරගයේදී මේ වාර්තාවට හිමිකම් කීවේ පංජාබ් පිලේ කඩුලු 2ක් ද බිඳ දැමීම සමඟය.

මීට පෙර කඩුලු 298ක් දවා ගෙන සිටි පොලාඩ්, එම තරගයේදී ක්‍රිස් ගේල් සහ පංජාබ් නායක ලෝකේෂ් රාහුල් දවා ගැනීමත් සමඟ කඩුලු 300 සීමාට පිවිසි අතර, ඒ සමඟ විස්සයි20 තරග බිමේ කඩුලු 300ක් දවා ගනිමින් සහ ලකුණු 10,000ක් රැස් කරමින් දස්කම් දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය. 34 හැවිරිදි පොලාඩ් මේ වන විට විස්සයි20 පිටියේ රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 11,202කි.

පොලාඩ් හැරුණු විට විස්සයි20 තරග බිමේ ලකුණු 10,000 පසු කර ඇත්තේ පිතිකරුවන් සිව්දෙනකු පමණි. කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් (14,275), පාකිස්තානයේ ෂොයිබ් මලික් (10,832), ඉන්දියාවේ විරාට් කෝලි (10,038) සහ ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් (10,019) එම පිතිකරුවෝ වෙති. කෙසේ වෙතත් ඔවුන් අතුරින් ගේල් සහ මලික් පමණක් පන්දු යවන්නන් ලෙස කටයුතු කරන අතර, පොලාඩ්ට පසුපසින් සිටින මලික් දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 152කි.