හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
ඉක්වදෝරයේ බන්ධනාගාරයක ප්‍රතිවිරුද්ධ කල්ලි දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමකින් අවම වශයෙන් 116 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. තවත් පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. එය එරට ඉතිහාසයේ මෙතෙක් ඇති වූ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියාව බව පැවැසේ. ගුවායාකිල් නගරයේ ඇති වූ මේ සිද්ධියෙන් සිරකරුවන් පස්දෙනකුගේ පමණ හිස ගසා දමා ඇති අතර, සෙසු අය වෙඩි වැදීමෙන් ඝාතනය වී ඇත. සිරකරුවන් අත්බෝම්බ ප්‍රහාර ද එල්ල කර ඇති බව පොලිස් අණදෙන නිලධාරී ෆවුස්ටෝ බුවනානෝ ප්‍රකාශ කර තිබේ.අන්තර්ජාතික මත් ද්‍රව්‍ය කල්ලිවලට සම්බන්ධතා ඇති මේ සිරකරුවන් අතර ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම් පාලනය කිරීමට 400කට අධික පොලිස් භටයින් පිරිසක් යෙදවීමට සිදු වී ඇත.
බන්ධනාගාරයේ ඇති වූ මේ කැරැල්ල එරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය කල්ලියක මෙහෙය වීමෙන් සිදු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉක්වදෝරයේ බන්ධනාගාර සේවා අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ තත්ත්වය ඉතාම බිහිසුණු තත්ත්වයට පත් ව තිබූ බවය. මේ ගැටුම පාලනය කිරීමට පොලීසිය සමත් වූ නමුත් අදාළ දිනයේ රාත්‍රියේ දී ද වෙඩි තැබීම් වැනි ක්‍රියා සිදු වී ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය. ඊයේ (30දා) උදෑසන වන විට සිද්ධිය සම්පූර්ණයෙන් ම පාලනය කිරීමට හැකි විය.