බංගලියෝ පරද්දන්න සිංහ පැටව් පිටියට
රටවල් 5ක් සහභාගී වන කලාපයේ ප්‍රධානතම පාපන්දු ශූරතාවලිය දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මාලදිවයින ජාතික ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (01) පස්වරු 3.30ට ආරම්භ වෙයි. පාපන්දු ක්‍රීඩාව මාලදිවයිනේ ජනප්‍රියතම ක්‍රීඩාවක් බැවින් කොරෝනා අර්බුදය මැද වුවද මාලදිවයින වැසියෝ තරගාවලිය ආරම්භවන තුරු මහත් උනන්දුවකින් බලා සිටිති.
මාලදිවයින සෞඛ්‍ය අංශ නිකුත් කළ නවතම දත්තයන් අනුව ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 141කට අඩුවී මනා පාලනයක් ඇතිව තිබෙන හෙයින් මේ පාපන්දු තරගාවලිය නැරැඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවසර හිමි වේ. එහෙත් සීමිත ප්‍රවේශපත් ප්‍රමාණයක් නිකුත් කිරීමට දකුණු ආසියා පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තා විය.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වසර 1979 සිට අන්තර්ජාතික පාපන්දු තරග 16ක් පවත්වා ඇති අතර, එයින් බංග්ලාදේශය තරග 10ක් හා ශ්‍රී ලංකාව තරග 4ක් ජයග්‍රහණය කළේය. තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමාවූ අතර, මෙයට වසර තුනකට පෙර දෙරට අතර අවසන් තරගය පැවැත්විණි. බංග්ලාදේශයේ පැවැති එම මිත්‍රත්ව පාපන්දු තරගයේදී ශ්‍රී ලංකාව ගෝල් 1-0ක ජයක් වාර්තා කළේය.
ශ්‍රී ලංකාව මේ වසරේදී ලෝක පාපන්දු තරගාවලියේ සුදුසුකම් වටයේ තරග කිහිපයකට එක්වූ අතර, එහිදී ලැබූ පන්නරය මේ ශූරතාවලියට වඩාත් වැදගත් බව ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා පැවැසීය. තම කණ්ඩායමට මේ ශූරතාවලියට පෙර දීර්ඝ පුහුණුවක් ලැබී නැතත් තරගයෙන් තරගය දියුණු මට්ටමක් ඇති කර ගැනීම අරමුණ බව හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පාපන්දු පිලට එංගලන්තයේ සිට පැමිණ එක්වු 32 හැවිරිදි හැමිල්ටන් මර්වින් හා 19 හැවිරිදි ඩිලෝන් සෙනන් ද සිල්වා ක්‍රීඩකයන් දෙදෙනා ඇතුලු කණ්ඩායම ඊයේ දිනයේ පුහුණු සැසියට එක්වූ අතර, සියලු දෙනාම යහපත් මානසික මට්ටමකින් පසුවන බව කණ්ඩායමේ පුහුණුකරු අමීර් ඇලජික් මහතා සඳහන් කළේය.
බංග්ලාදේශ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ කැපි පෙණෙන කණ්ඩායම වූ බසුන්දරා කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10ක් බංග්ලාදේශ ජාතික පිලට ක්‍රීඩා කරන අතර, මේ හේතුව නිසාම මෙයට සතියකට පමණ පෙර හිටපු ප්‍රධාන පුහුණුකරුගේ සේවය හදිසියේම අවලංගු කිරීමට බංග්ලාදේශ පාපන්දු සම්ම්ලනය පියවර ගත්තේය.
ජාතික පුහුණුකරු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික ජේමි ඩේ මහතා ඉවත්කොට ස්පාඤ්ඤ ජාතික ඔස්කාර් බර්සන් මහතා එම තනතුරට පත් කිරීමට බංග්ලාදේශ පාපන්දු සම්මේලනය කටයුතු කළ අතර, ඉවත්කළ පාපන්දු පුහුණුකරුගේ කොන්ත්‍රාත්තුව නිමාවීමට තවත් වසරක කාලයක් තිබිණි. බංග්ලාදේශ පාපන්දු කණ්ඩායමේ සම්පූර්ණ කාර්ය මණ්ඩලයම බසුන්දරා කිංග්ස් කණ්ඩායමේ සාමාජිකයන් වීම විශේෂත්වයකි. එම කණ්ඩායම පසුගිය මාසයේ මාලදිවයිනේ පැවැති ආසියා පාපන්දු සම්මේලන ක්‍රීඩා සමාජ ශූරතාවලියේදී අනුශූරතාව දිනා ගැනීම හේතුවෙන් විශාල විශ්වාසයක් ගොඩනැගී තිබේ.
අද දිනයේ දෙවැනි තරගය රාත්‍රී 9.00ට විදුලි ආලෝක ධාරා මැද මාලදිවයින හා නේපාලය අතර පැවැත්වේ.
ප්‍රින්ස් ගුණසේකර මාලදිවයිනේ සිට…..