කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
කොවිඩ් තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉදිරිපත් වන යෝජනා තමා විසින් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ පෙරේදා (29) කම්කරු අමාත්‍යංශයේදී රැස් වූ කොවිඩ් 19 කම්කරු කාර්ය සාධක සභාවේදී වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් හමුවේදීය.
කම්කරු නියෝජිතයන්ගේ යෝජනා සංග්‍රහය ලිඛිතව කඩිනමින් දෙන ලෙසද ඇමැතිවරයා කියා සිටියේය. ඔක්තෝම්බර් පළමු වැනිදා සිට රට විවෘත කිරීමට පෙර වෘත්තීය සමිති නායකයන්ගේ අදහස් හා යෝජනා ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ යෝජනාවකට අනුව මෙම වෘත්තිය සමිති නායක හමුව පැවැත්වූ බවත් එසේම සිල්ලර අලෙවි සල්, උකස් ව්‍යාපාර ආයතන හා රෙදිපිළි ව්‍යාපාර ආයතනවලට එම ආයතනය විවෘත කිරීමට පළමු වැනිදා සිට අවසර දීම පිළිබඳ එම අලෙවි අංශ නියෝජිතයන්ගේ අදහස් ගැනීමට ඔවුන් ද මෙම සාකච්ඡාවට කැඳවූ බවත් ඇමැතිවරයා තවදුරටත් පැවැසීය.
කෝවිඩ් තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ කම්කරුවන් කැප වීමෙන් කටයුතු කළත් කොවිඩ් පිළිබඳ තීන්දු තීරණ ගන්නා මණ්ඩලවලට එම වැඩ කරන ජනතාවගේ නියෝජිතයන් සහභාගි කර නොගැනීම පිළිබඳ ගැටලුවක් බව පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති නියෝජිතයෝ මෙහිදී කියා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සම ලේකම් ඇන්ටන් මාකස් මහතා පෙන්වා දුන්නේ, මේ රටේ පෞද්ගලික අංශයේ සේවක ප්‍රජාවට අදාළව සෞඛ්‍ය රෙගුලාසි සකස් කිරීමේ දී එම සේවක පාර්ශ්වයේද අදහස් ගැනීම කළ යුතුව ඇතත්, මෙම කොවිඩ් 19 පිළිබඳ ජාතික මට්ටමේ කිසිදු සාකච්ඡාවකට වෘත්තීය සමිති නායකයන්ට කැඳවීමක් නොලද බවයි.
මෙහිදී අදහස් දැක්වූ සිල්ලර වෙළෙඳසල් හිමිකරුවන්ගේ සම්මේලනයේ නියෝජිත සුරේන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, රජය නිකුත් කරන සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව පාරිභෝගිකයන් හා ගනුදෙනු කිරීමට තම සංගමයේ සාමාජිකයන් සූදානම් බවය.
හාම්පුතුන්ට එරෙහිව වෘත්තීය සමිති කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන චෝදනා පිළිබඳ සාධාරණ ක්‍රියාමාර්ග නොගැනීම හා මන්දගාමීව ක්‍රියාත්මක වීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මෙහිදී කියා සිටියේ, මේ පිළිබඳ තමන්ට අදාළ විදේශීය ආයතනවලට දැනුම් දීමට සිදු වන බවයි.
ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, අදාළ චෝදනාවලට නඩු පැවරීම් ප්‍රමාද කිරීම් පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීමට ඉතාම ආසන්න දිනයක් දෙන බවය.
අනුර ප්‍රේමලාල්