ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය බාර ගැනීමට සූදානමින් පසුවන අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් දිරි ගන්වමින් එක් ක්‍රීඩකයකුට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති යොවුන් ක්‍රීඩකයන්ගේ දස්කම් සොයා යෑමේ දීපව්‍යාප්ත වැඩසටහනින් ක්‍රීඩකයන් 75ක් අතරින් ජාතික කනිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව තෝරාගත් දක්ෂතම ක්‍රීඩකයන් 26කගෙන් සමන්විත යොවුන් ක්‍රිකට් සංචිතයේ පළමු අන්තර්ජාතික තරගාවලිය ලබන ඔක්තෝබර් මස 7 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය වේ.
‘මේ යොවුන් ක්‍රීඩකයන් තමයි අපේ රටේ ක්‍රිකට් අනාගතය. ඉතින් එයාලා පරිස්සම් කරගන්න එක අපේ වගකීමක්. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන් වෙනුවෙන් සියළු පහසුකම් සපයනවා. ඒ නිසා යොවුන් ක්‍රීඩකයන්ට තියෙන්නේ ක්‍රීඩාවේ නිරතවීමයි. ඒ වගේම විනය හොඳින් පවත්වාගෙන යෑමත් එයාලගේ වගකීමක් වෙනවා.‘ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය. යොවුන් ක්‍රීඩකයන්ට මූල්‍ය දීමනා ලබා දීම සිදු වූයේ රවීන් වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙනි. ජාතික මට්ටම දක්වා සිය දස්කම් ඉහළ දමා ගැනීමට ලද අවස්ථාව උපරිම ඵල නෙලා ගන්නා ලෙස යොවුන් ක්‍රීඩකයන් අමතමින් රවීන් වික්‍රමරත්න මහතා එහි දී සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වාත්තුහේවා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් ප්‍රධානි චින්තක එදිරිමාන්න මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ප්‍රධාන පුහුණුකරු ලෙස යළි පත් වූ ජාතික පිලේ හිටපු ආරම්භක පිතිකරු අවිශ්ක ගුණවර්ධන මහතා යටතේ ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායම පසුගියදා එස්එස්සී ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් සති තුනක පුහුණු කඳවුරකට සහභාගි වූ අතර, එය පවත්වනු ලැබුවේ ජෛව බුබුලු සෞඛ්‍ය ආරක්ෂක වළල්ලක් ඇතුළතදීය.
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට අමතරව යොවුන් ආසියා කුසලාන තරගාවලියට සහ ලබන වසරේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට නියමිතව ඇත්තේ ද මේ සංචිතය තුළිනි. ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් කණ්ඩායම් අතර එක්දින තරගාවලිය ලබන මස 15 වැනිදා සිට 25 දක්වා පැවැත්වේ.
අවිශ්කගේ පුහුණුකාරීත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් සංචිතයේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන, දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස සචිත් පතිරණ, වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස චමිල ගමගේ සහ පිතිහරඹ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන එක් වී සිටිති.
ෆවුස් මොහොමඩ්