වසර 42ක් පුරා පාසල් පාසල් ක්‍රිකට් තරග බිමේ දස්කම් අගයමින් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුළු දක්ෂයන් තෝරා ගැනීම සඳහා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සංවිධාන කරන වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගැනීමේ සම්මාන උලෙළ මෙවරත් පැවැත්වේ.
මේ සම්මාන උලෙළ විශේෂ පෙරැළියක් කරමින් පාසල් ක්‍රීඩිකාවන් අතර ද උනන්දුව සහ උද්යෝගයක් ඇති කිරීම සඳහා ක්‍රීඩිකාවන්ට සම්මාන පිරිනැමීම මීට වසර 2කට පෙර ආරම්භ විය.
ඔබ්සර්වර් පුවත්පත සමඟ ලංකාවේ වේගවත්ම මෙන්ම වැඩිම ආවරණයක් සහිතව විශාල ජනතා විශ්වාසයක් දිනා සිටින එස්එල්ටී මොබිටෙල් මේ කාර්ය සඳහා එක් වන්නේ අඛණ්ඩව 14 වැනි වරටය.
පාසල් මට්ටමෙන් ජාතික කණ්ඩායමට කුසලතා පිරි ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුන්වා දීමේ අරමුණින් වසර 1979දී ආරම්භ වූ මේ සම්මාන උලෙළ මේ වන විට පාසල් ක්‍රිකට් තරු 42ක් බිහි කරමින් දශක 4කට වැඩි කාලයක් පුරා පැවැත්වෙන අතර, මෙවර මේ සම්මාන උලෙළ පැවැත්වෙන්නේ 43 වැනි වරටය.
මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම පාඨක මනාපයෙන් සිදු කරන අතර, ඒ සඳහා කූපන පළ කිරීම ඊයේ (2) සිට ආරම්භ විය. ලේක්හවුස් ආයතනය විසින් නිකුත් සතිඅන්ත පුවත්පත්වල මේ කූපනය ඇතුළත් වූ අතර, අද සිට ලේක්හවුස් දිනපතා පුවත්පත්වල ද මේ කූපනය ඇතුළත් වේ.
කූපන්පත් එවන පාඨකයන්ට ද ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවක් හිමිව තිබීම විශේෂත්වයකි. මනාප පළ කරමින් එවන ලද කූපන මඟින් සිදු කරන දිනුම් ඇදීමකින් සතිපතා ත්‍යාග පිරිනැමීමට ලංකාවේ වේගවත්ම ජාලය වන මොබිටෙල් ආයතනය කටයුතු යොදා ඇත. ඒ අනුව පළමු ස්ථානය සඳහා මොබිටෙල් 4GB රවුටරයක් හිමි වන අතර, දෙවැනියාගේ සිට සිව්වැනියා දක්වා පිළිවෙළින් රු. 2500, 1500 සහ 1000ක මුදලක් පිරිනැමෙනු ඇත.
නිරෝෂාන් ප්‍රියංකර