28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලබන වසරේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්

ලබන වසරේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්

ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

කොරෝනා වසංගතය නිසා රටේ ආදායම පහළ බැස තිබුණත් 2022 වර්ෂය රට පුරා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කීරීමට රජය ක්‍රියා කරමින් සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිතිවල නිලධාරීන් සමඟ ඊයේ (03) පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“ලෝකය පුරා පැතිරුණු කොරෝනා වසංගතය හේතුවෙන් අපේ රටේ සංවර්ධනයත් එක තැන නතර වු තත්ත්වයක් තිබුණා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ගෝඨාභය රාජපක්ෂ මහතා මාස අටකදී මෙරට වේගවත් සංවර්ධන මාවතකට යොමු කරමින් සිටි නිසා ජනතාව දේශපාලන ඉතිහාසයේ කිසි කලෙක නොවූ වීරූ ආකාරයට තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පත් කර ගත්තා.

උතුරේ පැවැති දරුණු යුද්ධය නිම කර රටට සාමය උදා කළ අවධියේවත් එවැනි බලයක් අපේ ආණ්ඩුවට ලැබුණේ නෑ. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවට එවැනි බලයක් දී රට වේගයෙන් සංවර්ධනය කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිව කටයුතු කළා. නමුත් අපි හැමෝටම පාලනය කර ගත නොහැකි ආකාරයට කොරෝනා වසංගතය පැතිරුණු නිසා ජන ජීවිතය ආරක්ෂා කර ගන්න ප්‍රමුඛත්වය දෙන්න රජයට සිදු වුණා.

ඒ අනුව රටේ සියලු දෙනාට එන්නත දීමේ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කර ගන්න රජය සමත්ව තිබෙනවා. මේ කටයුතුවලට දායක වු සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉදිරි කාලයේදීත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ප්‍රවේසම් වීමට අපි හැමෝම කැප වෙන්න ඕනෑ. එහෙම වුණොත් නැවතත් ජනවාරි මාසයේ සිට රටේ සංවර්ධන සංග්‍රාමය ආරම්භ කර නැවතත් රට වැඩ බිමක් බවට පත් කර රටේ ජනතාවගේ අතමිට සරු වන යුගයක් බවට පත් වෙනවා.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි අයවැයෙන් රට පුරා සංවර්ධනයට විශාල මුදලක් වැය කර තිබෙනවා. නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 4,470ක් වෙන් කර දීමට පියවර තිබෙනවා.”

ඉෂාරා සිල්වා